ලංකා ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය අද (31දා) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව අත්අඩංගුවට ගෙන තිබේ.
ස්ථාන දෙකකදී හෙරොයින් කිලෝග්‍රෑම්278කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, එහි වටිනාකම රුපියල් මිලියන 3336කට අධික බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
හෙරොයින් තොගය සමග බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව සැකකරුවන් සතුට තිබී කොකේන් කිලෝ ග්‍රෑම් 05ක්ද සොයාගත් බවත්, එහි වටිනාකම රුපියල් මිලියන හැත්තෑ පහකට අධික බවත් ඔහු පවසා සිටියේය.
කේක් පෙට්ටිවල හා ගමන් මලුවල සඟවා තිබියදී මෙම හෙරොයින් තොගය සොයාගත් බවත්, මුලින් ගල්කිස්ස ප්‍ර‘දේශයේ නිවාස සංකීර්ණයක හතර වැනි තට්ටුවේදී හෙරොයින් කිලෝ 09ක් සමග බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් ඒ මහතා සඳහන් කළේය.
30 හා 44 හැවිරිදි මෙම දෙදෙනා මේ මස 23 වැනිදා ලංකාවට පැමිණ ඇතැයි තහවුරු වී තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඔවුන් දෙදෙනා සතුව තිබූ හෙරොයින් තොගය කේක් පෙට්ටිවල හසුරා ගමන් මලුවල තැන්පත් කර තිබූ බවත්, සැකකරුවන් සතුව යතුරු කැරැල්ලක් හා රෝලර් ගේට්ටුවක දුරස්ථ පාලකයක් තිබූ අතර, ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ බවත් හෙතෙම පවසා සිටියේය.
ඉන්පසුව කවුඩාන පාර, අත්තිඩිය ප්‍රදේශයේ දෙමහල් නිවසක් සොයාගත් අතර, එම නිවසේ තිබී හෙරොයින් හා කොකේන් සොයා ගත් බවදරුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
නිවසේ සෑම ස්ථානයකම ගමන් මලුවල, කේක් පෙට්ටිවල හා වෙනත්ඇසුරුම්වල හෙරොයින් තොග අසුරා තිබූ බවද ඔහු පවසා සිටියේය.
මෙම දෙමහල් නිවස විදේශීය ජාවාරම්කරුවන් විසින් කුලියට ගෙන සිටි බවට වාර්තා වන බවත්, මෙම ජාවාරම දිගින් දිගටම සිදු කර ඇති අතර, මුළු ලංකාවටම හෙරොයින් බෙදාහරින ආරක්ෂිත ස්ථානයක් ලෙස එම ස්ථානය පවත්වාගෙන ගොස් තිබූ බවත් ඒ මහතා කියා සිටියේය.
නිවසේ අයිතිකරු පිළිබඳවද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත්, පසුගිය 14 වැනිදා කේක් පෙට්ටියක අසුරා රැගෙන යමින් සිටියදී නුගේගොඩ පාගොඩ පාරේදී පුද්ගලයන් දෙදෙනෙකු සතුව තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් එක සහ 15 වැනිදා දෙහිවලදී බංග්ලාදේශ කාන්තාවක සතුව තිබී අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 32ක හෙරොයින් තොගද මෙයටම සම්බන්ධ ඒවා යැයි පැහැදිලි වන බවද බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අද (31දා) දිනය වනවිට ලංකාවේ අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය වූයේ 2013 වසරේ අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 261ක ප්‍රමාණය බවත්, එහෙත් ඊයේ දිනයේදී ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය කිලෝග්‍රෑම් 278ක් වන බවත් හෙතෙම කියා සිටියේය.
සොයාගන්නා ලද දෙමහල් නිවස හෙරොයින් පැකට් කිරීම, කිරුම් මිනුම් කිරීම ආදී කටයුතු සඳහාද භාවිත කොට ඇතැයිද රුවන් ගුණසේකර මහතා තවදුරටත් කියා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ/ බිමල් ශ්‍යාමන් ජයසිංහ/ එච්.එම්. ධර්මපාල