මෙම වසර මුලදී කොවිඩ්-19 වසංගතයේ පළමු රැල්ල අතරතුර ඉතාලියේ වඩාත්ම පීඩාවට පත් කලාපය වන ලොම්බාර්ඩි ආශ්‍රිතව යළිත් ආසාදන ඉහළ යෑම නිසා එය මැඬපැවැත්වීමට ඇඳිරි නීතිය පැනවීමට සූදානම් වෙයි.
ඒ අනුව ඇඳිරි නීතිය ඇරඹෙන බ්‍රහස්පතින්දා සිට සියලුම ක්‍රියාකාරකම් සහ ප්‍රසිද්ධියේ ගමන් කිරීම රාත්‍රී 11.00 සිට අලුයම 5.00 දක්වා නතර කළ යුතු අතර, ආහාර සහ මූලික අවශ්‍යතා අලෙවි කරන වෙළෙඳ සැල් හැර සති අන්තයේ සාප්පු සංකීර්ණ වසා දැමීමට ප්‍රාදේශීය බලධාරීන් එකඟ වී තිබේ.
ලොම්බාර්ඩි කලාපයේ සුප්‍රකට මිලාන් නගරයද වන අතර, මිලියන 10කට වැඩි ජනතාවක් ජීවත් වෙයි. කොරෝනා වෛරසයේ පළමු වැනි රැල්ලේදී මෙම කලාපය තුළ විශාල බලපෑමක් ඇති කළ අතර, බොහෝ දෙනා එය යුරෝපයේ වසංගතයේ කේන්ද්‍රස්ථානය ලෙස හැඳින්වීමටද හේතු විය. වැඩිහිටි ජනගහනය විශේෂයෙන් දැඩි ලෙස පීඩාවට පත්විය.
මෙම ඇඳිරි නීතිය කොපමණ කාලයක් පවතිනු ඇතිද සහ එය බලාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ විස්තර ඉදිරි කලාපීය නියෝගයකින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති අතර, රජයේ නවතම නියෝගය යටතේ, ප්‍රාදේශීය පරිපාලනයන්ට තම ප්‍රදේශය සඳහා ලොක්ඩවුන් කිරීම් සහ ඇඳිරි නීතිය පැනවීමට බලය පවරා ඇති බවද කියයි.