නව කොරෝනා වෛරසය හමුවේ ඉතාලියේ තත්ත්වය ඉතාම නරක අතට හැරෙමින් පවතින බවත්, මේ අනුව ගෙවීගිය දිනයේ එරට තුළ දෛනික ආසාදන හා මරණවලින් නව වාර්තාවක් තබා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්නුම් කරයි.
කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට මේ දක්වා කොවිඩ්-19 ආසාදිතයන් 824,879ක් වාර්තා කර ඇති ඉතාලිය ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 35,505ක් සමග නව දෛනික ආසාදන වාර්තාවක් තබා තිබේ.
එමෙන්ම ගෙවීගිය පැය 24 තුළ වෛරසය ආශ්රිත මරණ 445ක් සිදුව ඇති අතර, මෙයද දෛනික වාර්තාවකි. මේ අනුව එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 40,192ක් දක්වා ඉහළ ගොස් ඇත.
එහිදී දැඩි සත්කාර අවශ්‍ය වූ රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 2,391ක් වන අතර, එය පසුගිය පැය 24 තුළ 99ක වැඩිවීමකි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ගියානි රෙසා පැවසුවේ බ්‍රහස්පතින්දා පෙන්නුම් කළ සංඛ්‍යාලේඛන හොඳ සලකුණක් නොවන බවය.
මේ අතර රාත්‍රී 10.00 සිට පෙ.ව.5.00 දක්වා නිවසේ රැඳී සිටීමේ අගුලු දැමීමක් රට පුරා බලාත්මක කිරීමට ඉතාලිය කටයුතු කර තිබේ.
එමෙන්ම ආසාදනවල ඉහළ අනුපාතයක් ඇති කලාප හතර වන ලොම්බාර්ඩි, පීඩ්මොන්ට්, වැලී ඩි අවෝස්ටා සහ කැලාබ්රියා යන ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය අවශ්‍යතාවකට, සෞඛ්‍යය හේතුවකට හෝ රැකියාව සඳහා මිස තම නිවෙස් හැර යාමට කිසිදු අවසරයක් හිමි නොවන බවද පවසයි.
ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ, රෝග නිවාරණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ගියානි රෙසා වැඩිදුරටත් පැවසුවේ, "මේ මොහොතේ වෛරසය ක්‍රියාත්මකව ඇති බැවින්, එය නැවැත්වීමේ කාර්යභාරය ජනතාව ලෙස අපට පැවරෙන වගකීමක්." යනුවෙනි.