ඇෆ්ගනිස්ථානයේ දෙවැනි විශාලතම නගරය වන කන්දහාර්හි පාලනය තලේබාන් සංවිධානය විසින් අත්පත් කරගැනීම සිදුව ඇත්තේ, කැරලිකරුවන් විසින් රටේ තුන්වැනි විශාලතම නගරය වූ හෙරත් අල්ලාගෙන පැය කිහිපයකට පසුවය.
ඇෆ්ගනිස්ථානයේ විශාලතම නගර තුනෙන් දෙකක් අල්ලා ගැනීම තලේබාන් හමුදාව මැයි මාසයේදී පුළුල් ප්‍රහාරයක් ආරම්භ කිරීමෙන් පසු ලැබූ විශාලතම ජයග්‍රහණයක් බවට පත්ව තිබේ. දැන් ඔවුන් අවධානය යොමු කර ඇත්තේ අගනුවර වන කාබුල්හි පාලනය සියතට ගැනීම කෙරෙහිය.
මේ අතර කාබුල් නගරයේ දැනට සිටින ඇමෙරිකානු හමුදා සහ තානාපති නිලධාරීන් ගෙන්වා ගැනීම සඳහා එක්සත් ජනපදය ඒ වෙත ඇමෙරිකනු සෙබලු 3,000ක් එවන බව පවසන පෙන්ටගනය, එම සෙබලුන් මැරීන් භටයන්ගෙන් සහ පාබල හමුදා සෙබලුන්ගෙන් සමන්විත වනු ඇති බව කියයි. කෙසේ වෙතත් මෙය තාවකාලිකව සිය ජනතාව රැගෙන ඒම සඳහා පමණක් යොදවන හමුදාවක් බවද පෙන්ටගනය කියයි.
මේ අතර ඇෆ්ගනිස්තානයේ සිටින බොහෝ සෙබලුන් කටාර් සහ කුවේට් හි ඇමෙරිකානු කඳවුරුවලට ගෙනයනු ඇති බවද කියයි.
පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවසුවේ කාබුල් වෙත අමතර හමුදා අවශ්‍ය නම් ඒ සඳහාද සූදානමින් සිටින බවයි.
මේ අතර ඇෆ්ගනිස්තානයේ සිටින බ්‍රිතාන්‍ය ජාතිකයින් සහ භාෂා පරිවර්තකයන් රටින් ඉවත් කර ගැනීම සඳහා බ්‍රිතාන්‍යයද සිය ගණනක් හමුදා භටයින් යෙදවීමට කටයුතු කරමින් සිටියි. අනෙකුත් තානාපති කාර්යාල සහ ආධාර කණ්ඩායම් පැවසුවේ ඔවුන්ද තම ජනතාව ඉවත් කර ගන්නා බවයි.
සමහර මාධ්‍ය විශ්ලේෂණයන්හි දැක්වෙන්නේ ඇෆ්ගනිස්ථානයේ අගනගරයන්ගෙන් අඩක් මේ වනවිට තලේබාන් සංවිධානය විසින් පාලනය කරන බවයි. කන්දහාර් ගුවන් තොටුපළේ පාලනය තවමත් ඇෆ්ගන් රජයේ හමුදාවන් යටතේ පවතී.