එන්නත් කිරීමෙන් පසු රුධිර කැටි ගැසීම් ඇති කරන ආසාදිතයන් පිළිබඳව නෝර්වේහි වාර්තාවක් ලැබීමෙන් පසු අයර්ලන්තය ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නත විදීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
නෝර්වීජියානු ඖෂධ ඒජන්සිය සෙනසුරාදා කියා සිටියේ මාත්‍රාව ගැනීමෙන් පසු වැඩිහිටියන් තුළ බරපතල රුධිර කැටි ගැසීම් පිළිබඳ නව අවස්ථා 4ක් වාර්තා වී ඇති බවයි.
අයර්ලන්ත ජාතික ප්‍රතිශක්තිකරණ උපදේශක කමිටුව මෙම නියෝගය පූර්වාරක්ෂාවක් ලෙස ඉදිරිපත් කර ඇති නමුත්, ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ මෙම සිද්ධීන් අතර කිසිදු සම්බන්ධයක් ඇති බවට තවම නිගමනයකට පැමිණ නැති බවද සිය නිවේදනයෙන් කියා සිටියි.
එන්නත අත්හිටුවීම පිළිබඳව තවදුරටත් විශ්ලේෂණය කිරීම සඳහා අයර්ලන්තයේ උපදේශක කමිටුව ඊයේ නැවත රැස්වීමට නියමිතව තිබූ බව එම වාර්තාවේ දැක්වේ.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත විදීමෙන් පසු රුධිර කැටි ගැසීම් වර්ධනය වන බවට වාර්තා වීමෙන් පසුව අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් අත්හිටුවීමට තීරණය කළ යුරෝපා රටවල් එකතුවට අයර්ලන්තයද මෙසේ සම්බන්ධ වී ඇත. ඔස්ට්‍රියාවේ සෞඛ්‍ය බලධාරීන් විසින් එන්නතෙහි ඇති විය හැකි අනතුරු පිළිබඳව මුලින්ම අනතුරු ඇඟවූ අතර අඟහරුවාදා ඔවුන් එය ලබාදීම තාවකාලිකව අත්හිටුවීය.
එසේම පළමු එන්නත ලබා ගැනීමෙන් දිනකට පසු හෘදයාබාධයකින් මියගිය සිසිලියේ සේවකයකුගේ මරණයෙන් පසු එන්නත් භාවිතය ඉතාලිය සිකුරාදා නවතනු ලැබීය. කෙසේවෙතත්, බ්‍රහස්පතින්දා ඩෙන්මාර්කය ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්පූර්ණයෙන් අත්හිටුවනු ලැබූ ප්‍රථම යුරෝපීය රට බවට පත්විය.