ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත හේතුවෙන් රුධිර කැටි ගැසීමේ බියක් නිසා ඩෙන්මාර්කය, අයිස්ලන්තය, නෝර්වේ සහ ඉතාලිය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක් ඊයේ (11දා) ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවන බව ප්‍රකාශ කළේය.
ඩෙන්මාර්කයේ සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 මර්දන එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවන බවයි.
ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 මර්දන එන්නත එන්නත ලබාදුන් පුද්ගලයින් අතර බරපතල ලෙස රුධිර කැටි ගැසීම් වාර්තා වී ඇති බව ඩෙන්මාර්ක සෞඛ්‍ය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
නමුත් එය තවදුරටත් අධ්‍යයනය කෙරෙමින් පවතින බවද ඔවුන් කියා සිටියේ, එන්නත සහ රුධිර කැටි ගැසීම් අතර සම්බන්ධයක් තිබේද යන්න මේ වන විට නිශ්චය කර නොමැති බවද පවසමිනි.
කෙසේ වෙතත් එක්සත් රාජධානිය සිය ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ආරක්ෂාව තහවුරු කරමින් කියා සිටියේ, ඩෙන්මාර්කය විසින් එන්නත භාවිතය අත්හිටුවා තිබුණත් ඔවුන් එය දිගටම ලබාදෙන බව සඳහන් කරමිනි.
"එය ආරක්ෂිත හා ඵලදායී බව අපට පැහැදිලියි. ජනතාවට ඉදිරියට පැමිණ එය ලබාගන්න යැයි ඉල්ලා සිටින විට ඔවුන් එය විශ්වාසයෙන් යුතුව කළ යුතුයි" අගමැති බොරිස් ජොන්සන්ගේ නිල ප්‍රකාශකයා වාර්තාකරුවන්ට පැවසීය.
කෙසේ වෙතත් ඩෙන්මාර්කයේ නිවේදනයෙන් පසුව අයිස්ලන්තය, නෝර්වේ සහ ඉතාලිය ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය අත්හිටුවා ඇත.
එමෙන්ම එන්නත ලබාගත් එක් පුද්ගලයෙකුගේ මරණය සහ තවත් අයෙකුගේ අසනීප තත්ත්වය පිළිබඳව විමර්ශනය කරන අතරතුර ඔස්ට්‍රියා බලධාරීන්ද විසින් ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 මර්දන එන්නත සමඟ එන්නත් කිරීම අත්හිටුවා ඇති බව එරට සෞඛ්‍ය ඒජන්සියක් පවසයි.
ඒ අනුව එන්නත ලබාගත් 49 හැවිරිදි කාන්තාවක් දරුණු රුධිර කැටි ගැසීමේ ආබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති අතර, අතර 35 හැවිරිදි කාන්තාවක් රුධිරය කැටි ගැසීම හේතුවෙන් අතිවන උග්‍ර පෙනහළු රෝගයක් වැලඳී දැන් සුවය ලබමින් සිටින බවද කියයි.
එහිදී යුරෝපීය රාජ්‍යයන් 17ක් වෙත යැවුණු මෙම එන්නත් කාණ්ඩයේම මිලියනයක එන්නත් අතර එන්නත් ලබාගත් තවත් යුරෝපීය රටවල් හතරක් වන එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව සහ ලක්සම්බර්ග් යන රටවල් එන්නත් භාවිතය අත්හිටුවා තිබේ.
කෙසේ වෙතත් ඩෙන්මාර්කය තමන් වෙත මෙතෙක් ලැබුණු සියලුම ඇස්ට්‍රාසෙනෙකා සැපයුම්වල භාවිතය නවතා දමා ඇත.
මේ අතර යුරෝපයේ ඖෂධ නියාමකයන් පැවසුවේ මූලික පරීක්ෂණවලට අනුව ඔස්ට්‍රියාවේ භාවිත කරන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් සමූහය හෙදියන්ගේ මරණයට වගකිව යුතු නැති බවය.
කෙසේ වෙතත් මාර්තු 09දා වනවිට යුරෝපීය කලාපයේ එන්නත් කරන ලද මිලියන තුනකට අධික පිරිස අතර රුධිර කැටි ගැසීම් සිද්ධීන් 22ක් වාර්තා වී ඇති බව එම නියාමකයන් පවසයි.
"ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය අප විසින් තවම අවසන් කර නොමැති බව පෙන්වා දීම වැදගත්. නමුත් දැනට එහි භාවිතය පමණක් නවතා දමා තිබෙනවා" යනුවෙන් ඩෙන්මාර්ක සෞඛ්‍ය අධිකාරියේ අධ්යක්ෂ සෝරෙන් බ්‍රොස්ට්‍රෝම් ප්‍රකාශය නිකුත් කරමින් කියා සිටියේය.
"එන්නත ආරක්ෂිත හා කාර්යක්ෂම බව සනාථ කරන පුළුල් ලියකියවිලි තිබෙනවා. නමුත් ඩෙන්මාර්කයේ සහ අනෙකුත් යුරෝපීය රටවල සිදුවිය හැකි බරපතල අතුරු ආබාධ පිළිබඳ තොරතුරු පිළිබඳව අප සහ ඩෙන්මාර්ක ඖෂධ ඒජන්සිය ක්‍රියා කළ යුතුය" යනුවෙන් බ්‍රොස්ට්‍රෝම් පැවසීය.
සති දෙකකට පසු සමාලෝචනය කෙරෙන බව පවසන මෙම අත්හිටුවීම නිසා ඩෙන්මාර්කයේ එන්නත් කිරීමේ ව්‍යාපාරය මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව කෝපන්හේගන්හි සමස්ත වැඩිහිටි ජනගහනයට ජූලි මස මුල වෙනුවට අගෝස්තු මැද භාගය වන විට එන්නත ලබාදීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අධිකාරිය පවසයි.