ලෝකයේ ඇතැම් රටවල් විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සිය ජනතාවට ලබාදීම අත්හිටුවීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් අවධානය යොමු කර ඇති බව අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ඊයේ (12දා) ප්‍රකාශ කළේ ඒජන්සිය විසින් අදාළ වාර්තා සමාලෝචනය කරමින් සිටින බව පෙන්වා දෙමිනි.
අලුතින්ම ඉතාලිය, තායිලන්තය සහ රුමේනියාව රුධිර කැටි ගැසීම් ඇතුළු අහිතකර බලපෑම් උපුටා දක්වමින් මීට පෙර එන්නත අත්හිටවූ රටවල් එකතුවේ යුරෝපීය රාජ්‍යයන් 8ක් සමග සම්බන්ධ වී ඇති අතර, ඒ සියලු රටවල් මේ වනවිට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීම මුළුමනින්ම හෝ විශේෂිත කණ්ඩායම්වලින් අත්හිටුවීමට තීරණය කර තිබේ.
"ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂාව පිළිබඳ ගෝලීය උපදේශක කමිටුව ආරක්ෂිත සංඥා ක්‍රමානුකූලව සමාලෝචනය කරන අතර, ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ වර්තමාන වාර්තා හොඳින් තක්සේරු කරමින් සිටිනවා." යැයි ටෙඩ්රොස් පැවසීය. "මේ සිදුවීම් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පූර්ණ අවබෝධයක් ලබා ගත් වහාම, සොයාගැනීම් සහ අපගේ වර්තමාන නිර්දේශයන්හි යම් වෙනසක් වහාම මහජනතාවට දැනුම් දීමට කටයුතු කරනවා."
කෙසේ වෙතත් කොවිඩ්-19 එන්නත් මගින් මෙතෙක් කිසිදු මරණයක් සිදුවී නොමැති බව සොයාගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂාව පිළිබඳ ගෝලීය උපදේශක කමිටුව සිය සමාලෝචනයන් සිදුකරන අතරතුර ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ් -19 එන්නත ලබාදීම අඛණ්ඩව සිදුකරන ලෙසද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලොව පුරා බොහෝ රටවල් විවිධ එන්නත් ලබාදීම ආරම්භ කර ඇත්තේ ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 1,190ක් ඉක්මවා ගොස් මරණ ලක්ෂ 26.3කට වඩා සිදුව ඇති පසුබිමකය. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට හදිසි භාවිතය සඳහා එන්නත් 4 ක් අනුමත කර ඇති අතර, කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාව මිලියන 335කට අධික ප්‍රමාණයක් මේ වනවිට ගෝලීයව ලබාදී ඇති බව සඳහන් වේ. ඇස්ට්‍රාසෙනෙකා එන්නතද මේ ආකාරයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ එන්නතකි.