ඇල්ල නගරයේ එකතු වී ඇති කැලිකසල ගොඩ සහ කාබනික පොහොර ව්‍යාපෘතිය මගින් හමාඑන දුගඳ මෙන්ම මැසි කරදර නිසාවෙන් ඇල්ල සංචාරක පුරවරයට පැමිණෙන දෙස්විදෙස් සංචාරකයින් දැඩි අපහසුතාවට පත්ව සිටිති .
ඇල්ල , දෙමෝදර ,බල්ලකැටුව කුඹල්වෙල යන නගරවල එකතු වෙන කැලිකසල මෙසේ ඇල්ල නගරයේ බිංගෙය ආසන්නයේ කිතල්ඇල්ල මාර්ගයේ පිහිටි ඉඩමක දැනට ගොඩ ගසමින් පවතින අතර , ඒ අසලම ඇල්ල ප්‍රාදේශීය සභාව සතු අබලන් ගරාවැටීමේ අවධානමක ඇති කාබනික පොහොර ව්‍යාපෘතිය ද පිහිටා ඇත.
වසර 2012දී කසලින් තොර ශ්‍රීලංකාවක් පිලිසරු කාබනික පොහොර ව්‍යාපෘතිය යටතේ ඇල්ල ප්‍රාදේශීය සභාවේ ඉල්ලීම මත පරිසර හා ස්වභාවික අමාත්‍යාංශයේ අධීක්ෂණය මත පිලිසරු ජාතික ඝන අපද්‍රව්‍ය කලමනාකරන ව්‍යාපෘතියේ මූල්‍යමය හා තක්ෂනික දායකත්වය මත ඉදිවූ ඇල්ල කාබනික පොහොර ව්‍යාපෘතියේ ගොඩනැගිලි අදවන විට දිරාපත්ව විනාශ වෙමින් කඩා වැටීමට ආසන්න අනතුරු දායක තත්වයේ පැවතීම නිසාවෙන් එහි සේවකයන් ද දැඩි අසීරූතාවයට පත්ව සිටිති .
දිනකට ඇල්ල නගරයේ සංචාරක හෝටල් වලින් පමනක් කසල ඉදුල් ට්‍රැක්ටර් ලෝඩ් දෙකක් එකතු වන අතර ඊට අමතරව ඇල්ල , කුඹල්වෙල ,දෙමෝදර සහ බල්ලකැටුව ප්‍රදේශයේ කැලිකසල ද විශාල වශයෙන් එකතු වේ.
ඇල්ල නගරයේ පර්චස් 10 ක පමණ ප්‍රමාණය ක පිහිටි කසල කලමනාකරන මධ්‍යස්ථානය දැනට ප්‍රමාණවත් නොවීම නිසා ඒ අසල පිහිටි ඉඩමක දැනට කැලිකසල ගොඩකරනු ලබයි .එයද දැන් ක්‍රමත් ක්‍රමයෙන් කැලිකසල වලින් පිරිමට පටන්ගෙන තිබේ.
මෙම කසල කලමනාකරන මධ්‍යස්ථානයේ සේවකයන් ගේ හිගයක් ද පවතී .කසල ගෙනඒමට, නගර පිරිසිදු කිරිමට මෙන්ම කසල තෝරා වෙන්කිරීම් කටයුතු සිදු කිරිමට ද ප්‍රමාණවත් සේවක පිරිසක් නොමැත .දැනට එම සේවකයන් අව්වේ වේලෙමින්, වැස්සේ තෙමෙමින් දුක් කරදර රැසක් මැද එම කටයුතු සිදු කර ගෙන යනු ලබයි .
දවස පුරා කසල ගොඩෙන් හමාඑන දුගඳ නිසාවෙන් ඒ අවට සංචාරක හෝටල් ව්‍යාපාරිකයන් , විවිධ වෙළදුන් මෙන්ම නිවාස හිමියන් ද දැඩි අපහසුතාවට පත්ව සිටිති .
විශේෂයෙන් ඒ අවට සංචාරක හෝටල් හිමිකරුවන් මෙම දුගඳ අවම කරගැනිමට හෝටල් තුල හදුන්කූරු දවස පුරා දල්වා තබාගෙන සිටිම පුරුද්දක් කරගෙන තිබේ.
සංචාරකයින් ද ආහාර පාන ලබා ගැනිමට සංචාරක හෝටල් වලට පැමිනි පසුව මෙම කැලිකසල ගොඩෙ දුගඳ නිසාවෙන් මෙන්ම මැසි කරදර නිසාවෙන් විශාල පීඩාවකට පත්ව සිටිති .
ඇල්ල ප්‍රදේශයේ සිදු කල සංචාරයකදී අපට සංචාරක හෝටල් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක් කියා සිටියේ මෙම කසල ගොඩ නිසාවෙන් තමන්ට සිය ව්‍යාපාරික කටයුතු සිදු කර ගෙන යාමට විශාල බාධාවක් සිදුව ඇති බවයි .එදා ඇල්ල නගරයේ එතරම් ජනාකීර්ණ තත්වයක් තිබුනේ නෑ. සංචාරක හෝටල් සීමිත ප්‍රමාණයක් තිබුනේ .අද වනවිට විශාල සංචාරක හෝටල් ප්‍රමාණයක් තිබෙනවා . ඉතිං දැන් මේ කුනු ගොඩ ඇල්ල නගරයට සුදුසු නෑ.දැන් මේක ඇල්ල සංචාරක පුරවරයක් .
ඇල්ල ප්‍රදේශීය සභාවේ සභාපති වෙනුර මලින්ද දිසානායක මහතා මෙසේ පැවසීය .
ඇත්ත වශයෙන්ම අපිත් දන්නවා මේ කුනු ගොඩ ඇල්ල සංචාරක පුරවරයට සුදුසු නෑ කියලා . මෙහි පැමිණෙන සංචාරකයන් විශාල අපහසුතාවට පත්වෙනවා .ඒ වගේම අපේ කසල කලමනාකරන මධ්‍යස්ථානයට දැන් වසර ගණනක් ගත වෙලා ගිහින් .ඒකත් ඉතාමත් අබලන් තත්ත්වය ක තිබෙන්නේ .කොන්ක්‍රීට් කනු දිරාපත් වෙලා.සේවක ප්‍රශ්නයක් තිබෙනවා.තවම අලුතින් සේවක පිරිස බදවා ගන්න අපිට රජයෙන් අවසර ලැබිලා නෑ.ඇල්ල නගරයේ ව්‍යාපාරික ප්‍රජාව ද දැඩි අපහසුතාවට පත්ව ඉන්නේ.දිනකට ට්‍රැක්ටර් තුනක පමණ කුනු කසල එකතු වෙනවා.
මීට අමතරව ඇල්ල ප්‍රදේශයේ සංචාරය කිරීමට පැමිනෙන විශේෂයෙන් පිටපලාත්වල සිට කුඹල්වෙල මහමෙව්නා අසපුව , ඇල්ල අහස් නවය ආරුක්කු පාලම , දෙමෝදර දුම්රිය ස්ථානය වැනි ස්ථාන නැරඹීමට පැමිනෙන දේශීය සංචාරකයන් ඉවතලන කැලිකසල අපද්‍රව්‍ය සියල්ල මාර්ග දිගේ තේවතුවල දමා පරිසරය අපවිත්‍ර කර යනවා . මේක අපිට විශාල කරදරයක් .
ඇල්ල ප්‍රාදේශීය සභාව බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාව , බණ්ඩාරවෙල මහ නගර සභාවේ එකතු වෙන කැලිකසල දැමීමට බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රදේශයේ අල්ලිමලේ ජනශුන්‍ය ප්‍රදේශය තෝරා ගෙන තිබෙනවා .අපි එම ඉඩම් ඉල්ලා බදුල්ල දිස්ත්‍රික් සම්බන්දීකරන කමිටුවට යෝජනාවක් ඉදිරිපත් කලා.අපි හිතනවා මේ ගැටලුවට කඩිනමින් විසදුම් ලැබෙයි කියා
ඇල්ල ප්‍රසාද් රුක්මාල්

