රාවණා කන්ද නාය යෑම හේතුවෙන් දින හතක් වසා තිබෙන ඇල්ල-වැල්ලවාය මාර්ගය ප්රතිසංස්කරණය කිරීමට දින හතකට වඩා යන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඌව පළාත් අධ්යක්ෂක ටී.කේ.එම් ගලප්පත්ති මහතා කියයි.
මාසයක් තිස්සේ පවතින අධික වර්ෂාවත් සමග පසුගිය 25 දින රාවණා දිය ඇල්ල අසල කන්ද නාය යාමට ලක්ව විශාල ගල්, පස් හා වනයේ ගස් වලින් මාර්ගය මුළුමනින්ම වැසී ගියේය.
විශාල ගල් පර්වත වලින් මුළු මාර්ගයම වැසී තිබීමත් නොකඩවා වැසි ඇඳ වැටීමත් සමග කන්ද තව තවත් නාය යෑමට ලක්විය.
සතියක කාලයක් තිස්සේ වසා තිබු මාර්ගයේ නාය ගිය පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු අද (1) දින ආරම්භ කළ බවත් මාර්ගය ප්රතිසංස්කරණය කිරීමට සතියක පමණ කාලයක් ගත වන බවත් ගලප්පත්ති මහතා පවසයි.
එම කාලය තුළදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ගෙන් හා මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.