ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයක් අතර ඇඹිලිපිටිය පොලීසිය එහි කඩා වැදීමෙන් පසු මියගිය එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් සැකකරන දැනට ඇප මත නිදහස්ව සිටින එවකට ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීව සිටි ඩි.ඩබ්.ධර්මරත්න මහතා අධිකරණයට නොපැමිණීම නිසා ඔහුට එරෙහිව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්රාත් ආර්.වී.එන්.කේ. රන්කොත්ගේ මහත්මිය අද (26) වරෙන්තු නිකුත් කළාය.
ඊට අමතරව ඔහුගේ ඇපකරුවන්ට ඊළඟ නඩු දිනය වූ 2020 වසරේ මාර්තු 03 දින අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි ද නිකුත් කළාය.
වර්ෂ 2016 ජනවාරි 04 දින රාත්රී ඇඹිලිපිටිය නව නගරය පාරේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ නිවසක පැවති සාදයට කඩා වැදුණු පොලිස් නිලධාරීන් අතර එවක ඇඹිලිපිටිය පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි ඩි.ඩබ්.ධර්මරත්න මහතා විසින් සුමිත් ප්රසංග ජයවර්ධන (29) තරුණයා ඉහළ මාලයකින් පහළට තල්ලූ කළ බවට සැකකරමින් මෙම නඩුව පැවැත්වෙයි. එම සිද්ධියෙන් දින තුනකට පසු රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදි සුමිත් ප්රසංග මිය ගියේය.
දැනට වර්ෂ හතරකට ආසන්නව පවතින මෙම සිද්ධිය තවමත් මූලික විමර්ශන මට්ටමේ පවති. එහි ලඝු නොවන නඩු විභාගය තවමත් පටන් ගෙන නැත.
මේ සම්බන්ධව වැඩිදුර විභාගය ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්රාත් අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි සැරයන්වරයා පැවසුවේ සිද්ධිය සම්බන්ධ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාත්, ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙසුත් මෙතෙක් ලැබි නැති බවයි.
සුමිත් ප්රසන්නගේ මරණය සම්බන්ධයෙන් එවක ඇඹිලිපිටිය පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි ඩි.ඩබ්.ධර්මරත්න මහතා 2016 පෙබරවාරි 02 දින හෝ ඊට ආසන්න දිනයක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්රශ්න කිරීමට අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහු ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ්භාරයට පත් කෙරිණි.
ඉන්පසු වැඩ තහනමකටද ලක්වූ ඔහු පසුව ඇපමත නිදහස් කර නැවත සේවයේ ද පිහිටුවා මේ වනවිට සේවය කරමින් සිටි.
එහෙත් 26 දින පැවති නඩු විභාගයට ඔහු පැමිණ නොසිටියේය.
විජිත ජී පුංචිහේවා මහතාගේ උපදෙස් මත මරණකරුගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂමන් රණසිංහ මහතා පැවසුවේ මේ සිද්ධියට වසර හතරක් ගතවිමට තව ඇත්තේ මාසයක් පමණක් බවයි. පරීක්ෂණ අවසන් කිරිමට රහස් පොලීසියට තවමත් නොහැකිවීම අගතියට පත් පාර්ශවය තවත් අගතියට පත් කිරිමක් බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය.
විමර්ශන පැවැත්වූ රහස් පොලීසිය හැම නඩු වාරයකදීම පවසන්නේ රජයේ රස පරීක්ෂක වාර්තා සහ නීති උපදෙස් මෙතෙක් ලැබි නැතිබව යන්න යැයිද නීතිඥවරයා පැවසුවේය. ඊළඟ නඩු දිනයට නීති උපදෙස් ලබාගෙන වාර්තා කරන ලෙස නියෝග කළත් ඊළඟ නඩු දිනයේත් එයම ප්රකාශ කරන බව ද නීතිඥවරයා කීවේය.
මරණකරුවූ සුමිත් ප්රසංග මරණයට ලක්වන විට ඇගේ බිරිඳ දෙවන දරුවා ලැබීමට ආසන්නව සිටි බවත් දැන් ඒ දරුවාටද අවුරුදු තුනකට ආසන්න නමුත් නඩුවේ කිසිදු ප්රගතියක් නැති බැවින් අගතියට පත් පාර්ශවයට සාධාරණයක් වන ලෙස විමර්ශන අවසන් කර ලඝු නොවන නඩු විභාගය පවත්වන්නට කටයුතු කරන ලෙස විමර්ශන නිලධාරීන්ට උපදෙස් දෙන්නැයි නීතිඥ විජිත ජී පුංචිහේවා මහතා ගිය නඩු දිනයේ විනිසුරුවරියගෙන් ඉල්ලා සිටි බවද පැවසුවේය.
පෙර නඩු දිනය වූ ජූලි 30 දින නඩුව කැඳවු අවස්ථාවේ දී ද මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජිත ජී පුංචිහේවා මහතා මෙම සිද්ධියේ විමර්ශන කටයුතු භාරගෙන ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම මේ සිද්ධිය සම්බන්ධයෙන් උදාසීනව කටයුතු කරන බව අධිකරණයේ අවධානයට ලක්කළ බවද කීවේය.
එපමණක් නොව මෙදින සැකකරුද අධිකරණය පැමිණ නැති බවත් විමර්ශන නිලධාරීන් වගේම සැකකරුත් සිද්ධිය සම්බන්ධයෙන් සැහැල්ලූවට සිතන බව සඳහන් කළේය.
සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා වෙනුවෙන් නීතිඥ රසිකා විජේකෝන් මහත්මිය පෙනී සිටියාය. ඉදිරිපත් කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්රාත්වරිය සැකකාර සහකාර පොලිස් අධිකාරී ඩි.ඩබ්.ධර්මරත්න මහතාට විරුද්ධව වරෙන්තු නිකුත් කළේය. එසේම ඔහුගේ ඇපකරුවන්ට ද නොතීස් නිකුත් කරමින් වැඩිදුර විභාගය 2020 මාර්තු 03 දින තෙක් කල් තැබීය.
