අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාව පැවැත්වූ අය වෘත්තීය උද්ඝෝෂකයන් බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
“ඒ ඇතිවුණු සිද්ධිය ගැන ආණ්ඩුවක් හැටියට අපේ පැහැදීමක් නෑ. අපි ඒක එළිපිට ප්රකාශ කරලා තියෙනවා. ඒකට මුල් වුණු කට්ටිය වෘත්තීමය උද්ඝෝෂණකාරයෝ. ඉතින් ඒගොල්ලන් හොඳට දන්නවා පොලීසිය ප්රකෝප කරන හැටි.
උද්ඝෝෂණය තහනම් කරලා උසාවිය නිකුත් කරපු නියෝගය පොලිසිය කියෙවුවට පස්සේත් කියනවා, එහෙම දෙයක් අපිට පෙන්නුවෙ නෑ කියලා. ඉතින් පොලීසියත් ඔය උපක්රමවලට අහුවෙන්න හොඳ නෑ. මේගොල්ලන්ට ඕනේ පොලීසියත් එක්ක මහ පාරේ පොරබදින දර්ශන. එතකොට තමයි ඒගොල්ලන්ගෙ ජීවිකාව තහවුරු වෙන්නේ.
ඒ ඇතිවුණු සුළු සිද්ධිය හැරුණාම මර්ධනයක් කියලා මේගොල්ලන්ට පෙන්වන්න වෙන මොනවත් නෑ. කොළඹ උද්ඝෝෂණයට එක විදියටත්, තොන්ඩමන් මහතාගේ මරණයට ආපු පිරිස්වලට තව විදියකටත් සැලකුවයි කියලා ඒගොල්ලො චෝදනා කරනවා.
ආරුමුගම් තොන්ඩමන් කියන්නේ උඩරට දෙමළ ජනතාවගේ අසහාය නායකයා. එවැන්නකුගේ මරණයෙන් ශෝකයට පත් වෙලා හිටපු ජනතාව එක්රැස් වීම පාලනය කරන්න අපි නුවරඑළිය දිස්ත්රික්කයට ඇඳිරි නීතිය ප්රකාශ කෙරුවාම ඒ ජනතාව ඒක පිළිපැද්දා. උසාවි නියෝග වලටත් පටහැනිව ලංකාවට කිසිම අදාලත්වයක් නැති පිටරට සිද්ධියක් මුල් කරගෙන පවත්වන උද්ඝෝෂණ කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්.
ඔබ කාටත් මතක ඇති, කොවිඩ් -19 වසංගතය එන්න කලින්, යහපාලන ආණ්ඩුව කාලයේ වගේම, ජනාධිපති ලේකම් කාර්යාලය ගාවට උද්ඝෝෂණකාරයෝ දිනපතාම වගේ ආවා. එයින් වැඩි පිරිසක් ආවේ යහපාලන ආණ්ඩුවෙන් ලැබුණු පත්වීම් ස්ථිර කරගන්න.
ඒ අය මහ හඬින් බැන්නේ අපිට නොවෙයි, කලින් ආණ්ඩුවට. ඒ තරුණ පිරිස් කිව්වා ඒගොල්ලන්ට බොරු පත්වීම් දීපු යහපාලන ඇමතිවරයාට ආයෙමත් හම්බන්තොටට එන්න එපා කියලා. ඒ කිව්වා වගේම ඒ යහපාලන ඇමතිතුමා දැන් හම්බන්තොටින් පැනලා ගිහිල්ලා කොළඹින් මේ පාර තරග කරනවා.”




