නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වූ පරීක්ෂණයේ වැඩකටයුතු වහාම ආරම්භ කරන ලෙසත්, නාස්ති කිරීමට කාලයක් නොමැති බවත් පවසමින් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් තවත් තර්ජනාත්මක ලිපියක් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වෙත යොමුව තිබේ.
එක්සත් ජනපදය මෙම ලිපියෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත අවධාරණය කර ඇත්තේ කොවිඩ්-19 වෛරසය පැතිර යාමේ ප්රභවය සහ ඉන් පසුව සිදුවන සිදුවීම් පිළිබඳ විමර්ශනයක කටයුතු වහාම ආරම්භ කරන ලෙසයි.
මෙවැනි වසංගතයක් නැවත කිසි දිනෙක සිදුනොවන බවට සහතික කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ආරම්භ කරන ලෙසද අවධාරණය කරමින්, ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය සහකාර ලේකම් බ්‍රෙට් පී. ගිරොයර් විසින් ඊයේ (22දා) ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩල රැස්වීම වෙත මෙම ලිපිය යොමුකර තිබේ.
"ජනාධිපති ට්‍රම්ප් විසින් මැයි 18 වැනි දින අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් වෙත යවන ලද ලිපියෙන් පැහැදිලි කර ඇති පරිදි, එවැනි වසංගතයක් නැවත කිසි දිනෙක සිදු නොවීමට වග බලා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම සඳහා නාස්ති කිරීමට කාලයක් නැහැ." සෞඛ්‍ය සහකාර ලේකම් ලිපියෙහි සඳහන් කර ඇත.
"අපක්ෂපාතී, ස්වාධීන හා සවිස්තරාත්මක සමාලෝචනයක්, සාමාජික රටවල් සමග සාකච්ඡා කර සිදුකිරීම සඳහා කරන ලද ඉල්ලීමට අප ප්‍රශංසා කරන අතරම, එය දැන්ම ආරම්භ කරන ලෙස බලකර සිටිනවා."
එවැනි සමාලෝචනයක් මගින් COVID-19 වසංගතයට ලෝක සෞඛ්‍ය සංවිධානය දැක්වූ ප්‍රතිචාරයේදී, වෛරසයේ මූලාශ්‍රය, එහි සිදුවීම්වල කාල නියමය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් සහතික කරනු ඇති බව ඔහු වැඩිදුරටත් එම ලිපියෙන් අවධාරණය කර තිබේ.