මන්නාරම සමූහ මිනිවළ තුළින් සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත සාම්පල් ගැනීම අද දිනයේත් සිදු කරන බවට මන්නාරම සමූහ මිණිවල සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ශමින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසූවේ මන්නාරම මහේස්ත්රාත්වරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්, පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥ කැලණිය විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ නියෝජිතයින්, රජයේ රස පරීක්ෂක නිලධාරීන්, මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්, රජයේ නිතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපස අදාළ කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත අස්ථි කොටස් සාම්පල ලබා ගැනීම සිදුකරන බවටයි.
අස්ථි කොටස් සාම්පල හයක් කාබන් පරීක්ෂාවට යොමුකිරීමට නියමිත බැවින් සමූහ මිණිවල භූමියේ ස්ථාන හයකින් අස්ථි සාම්පල ලබාගැනීමට නියමිත අතර,ඊයේ දින අස්ථි කොටස් සාම්පල දෙකක් ලබාගෙන ඇති බවද ශමින්ද රාජපක්ෂ වෛද්‍යවරයා පැවසුවේය.
අනෙකුත් අස්ථි කොටස් සාම්පල අද(19) දිනයේ ලබා ගැනීමට නියමිත අතර කාබන් පරීක්ෂාවට යොමු කරන අස්ථි කොටස් ඇමරිකාවේ ෆ්ලෝරිඩාවේ කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමු කිරීමට නියමිත බවද සියලු පාර්ශව වෙනුවෙන් විනිවිදභාවය ආරක්ෂා වන ආකාරයෙන් කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි කොටස් කැබලි ලබාගන්නා අතර, කිසිදු ආකාරයක දෝෂයක් නොවන ආකාරයට සියලු පාර්ශවවල නිරීක්ෂණ මත කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි ලබාගන්නා බවද රාජපක්ෂ මහතා පැවසීය.