ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ් -19 හේතුවෙන් පසුගිය සතියේ දිනකට පුද්ගලයන් 1,000කට වැඩි පිරිසක් මියයෑමත්, ඊයේ (26දා) වනවිට රටේ සමස්ත මරණ සංඛ්‍යාව 146,000 ඉක්මවීමත් සමග රට යළිත් ලොක්ඩවුන් කරන ලෙස එරට විශේෂඥයෝ ඉල්ලා සිටිති.
තවත් කොවිඩ්-19 වාර්තා බිඳ වැටෙමින්, ළමයින් පාසල් යැවිය යුතුද නැතිද යන උභතෝකෝටිකය මෙන්ම, ආර්ථිකය නැවත වසා දැමිය යුතුද යන පැනය ඉස්මතු වෙමින් ඇති පරිසරයක මෙම ලොක්ඩවුන් තීරණය එරට තුළ විවාදයේ ප්‍රධාන තැනක් ගෙන තිබේ.
එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන විසින් ප්‍රකාශයට පත් කරන ලද සමූහ අනාවැකියකට අනුව අගෝස්තු 15 වනවිට පර්යේෂකයන් වෛරසයට සම්බන්ධ මරණ 175,000ක් දක්වා ඉහළ යනු ඇත.
රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී යාම සහ පරීක්ෂණ දුගු කාලයක් ප්‍රමාද වීමත් සමග, හූස්ටන් නගරාධිපති සිල්වෙස්ටර් ටර්නර් සහ ලොස් ඇන්ජලීස් නගරාධිපති එරික් ගාර්සෙටි ඇතුළු සමහර ප්‍රාදේශීය නායකයන් කියා සිටියේ නිවසේ රැඳී සිටිය යුතු නියෝගයක් ලබාගත යුතු බවය.
මේ ආකාරයේ දැඩි පියවරක් සඳහා ප්රමුඛ පෙළේ වෛද්‍ය විශේෂඥයන්, විද්‍යා විශේෂඥයන්, ගුරුවරුන්, හෙදියන් සහ වෙනත් ක්ෂේත්රයන්හි විශේෂඥයන් 150කට අධික පිරිසක් සහයෝගය ලබා දී ඇති බවද එක්සත් ජනපදයෙන් වාර්තා වෙයි.
"මේ මොහොතේ ගණනය කිරීම් අනුව, අපි නොවැම්බර් 01දා වනවිට ඇමෙරිකානු ජීවිත 200,000කට වඩා අහිමි කරගැනීමේ මාවතක ගමන් කරමින් සිටිනවා. එහෙත්, බොහෝ ප්‍රාන්තවල මිනිසුන්ට මත්පැන් ශාලාවල මදුවිත පානය කරනවා, බාබර් සාප්පුවකින් කොණ්ඩය කපනවා, අවන්හලක් තුළ ආහාර බුදිනවා, පච්චයක් කොටාගන්නවා, සම්බාහනයක් ලබාගන්නවා. මේවා සාමාන්‍ය, ප්‍රසන්න නමුත් අත්‍යවශ්‍ය නොවන ක්‍රියාකාරකම්. මෙවැනි දේ රැසකට දොරටු විවර වෙලා." එම විශේෂඥයන් විසින් ට්‍රම්ප් පරිපාලනයට, කොංග්රස් සාමාජිකයන්ට සහ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ට යවන ලද ලිපියෙහි දැක්වෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව අද (27දා) උදෑසන වනවිට එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,233,764ක් වන අතර, වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 146,934ක් වෙයි.