එක්සත් ජනපදය විසින් නඟන අසාධාරණ චෝදනා පිළිනොගන්නා බවත්, මේ වනවිට චීනය සහ එක්සත් ජනපදය අතර සබඳතා පෙර නොවූවිරූ ලෙස පලුදුවී ඇති අතර, එමගින් දෙරටේ අවශ්‍යතාවන්ට හානි සිදුවී ඇති බවත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී අවධාරණය කළේය.
චීනයේ දූත පිරිසක් එක්සත් ජනපදයේ නියෝජිතයන් සමග ඉහළ මට්ටමේ උපායමාර්ගික සංවාදයක් සඳහා එක්සත් ජනපදයේ, ඇලස්කා ප්‍රාන්තය වෙත පැමිණි අවස්ථාවේදී මෙම අදහස් දැක්වීම සිදුකළේය. චීන දූත පිරිස මෙහෙයවනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයන් වන යැං ජිචි සහ වැන්ග් යී විසිනි. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් එක්සත් ජනපදය නියෝජනය කළේය.
එහිදී එක්සත් ජනපදය සමග ඉහළ මට්ටමේ සංවාදයට චීන දූත පිරිස ඇලස්කාවේ විශාලතම නගරය වන ඇන්කොරේජ් වෙත පැමිණියේ උපායමාර්ගික සංවාදයක් සඳහා මනස යොමු කරමින් වුවත්, එක්සත් ජනපද පාර්ශ්වය ආරම්භක දේශනයෙන්ම ඔවුන්ගේ කාලය ඉක්මවා යමින් අසාධාරණ චෝදනා ඉදිරිපත් කළ බවත්, එය රාජ්‍යතාන්ත්‍රික ප්‍රොටෝකෝලය සමග නොගැලපෙන බැවින් චීනය දැඩි ප්‍රතිචාරයක් දැක්වූ බවත් යැං ජිචි සහ වැන්ග් යීගේ නායකත්වයෙන් යුතු චීන දූත පිරිස අවධාරණය කළේය.
චීනයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික යැං ජිචි පැවසුවේ, මෙම සංවාදය අව්‍යාජ හා අවංක එකක් වනු ඇතැයි යන්න බලාපොරොත්තු වන බවය. එහිදී දෙරට අතර පවතින වෙනස්කම් නිසි ලෙස කළමනාකරණය කිරීමේ සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම යැං ජිචි අවධාරණය කළේය.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බලයට පත්වීමෙන් පසුව එරට ඉහළ පෙළේ නියෝජිතයන් සහ චීනයේ නියෝජිතයන් මුහුණට මුහුණ හමු වූ පළමු වැනි රැස්වීම මෙයයි.