ඇමෙරිකා එක්සත් ජනපදයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කළ ජෝ බයිඩන් නිල වශයෙන් දිවුරුම්දීම ඊයේ (20දා) වොෂිංටනයේදී සිදුවිය.
අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේ එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් දිවුරුම් දෙන අවස්ථාවේදී ඔහුගේ බිරිඳ ජිල් බයිඩන්ද ඒ අසලින් විය.
නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව සමාරම්භක දේශනය ඇමතූ බයිඩන්, ඇමෙරිකානුවන්ගෙන් එක්සත් වන ලෙස ඉල්ලා සිටි අතර, තමන් සියලූම ඇමෙරිකානුවන් සඳහා ජනාධිපතිවරයෙකු වන බව පොරොන්දු විය.
එසේම කොරෝනා වෛරසය හමුවේ ඇමෙරිකාව අනතුරුදායක මාවතක ගමන් කරමින් සිටින බවටද ඔහු අනතුරු ඇඟවීමක් කළේය.
බයිඩන් දිවුරුම්දීමේ අවස්ථාවට පෙර සඳහන් වූ පරිදිම හිටපු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් හෝ මෙලානියා ට්රම්ප් සහභාගී නොවූ අතර, එය ඇමෙරිකානු ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ සිදුවීමකි. කෙසේ වෙතත් හිටපු උප ජනපති මයික් පෙන්ස් සහ ආර්යාව මෙම උත්සවය සඳහා සහභාගී විය.
ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන බරැක් ඔබාමා, ජෝර්ජ් ඩබ්. බුෂ්, බිල් ක්ලින්ටන් ආදීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. එසේම ඇමෙරිකාවේ නව උප ජනාපතිනිය ලෙස ඉන්දියානු ඇමෙරිකානු සම්භවයක් සහිත කමලා හැරිස් දිවුරුම්දීමද මෙහිදී සිදුවිය.
වොෂිංටනය වෙත අමතර ආරක්ෂක බලකායන් කැඳවා දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණේ පසුගියදා කැපිටල් ගොඩනැගිල්ලට එල්ල වූ ආකාරයේ ප්රහාරයක් බලාපොරොත්තුවෙනි. නමුත් එවැනි සැලකිය යුතු සිදුවීමක් දිවුරුම්දීම සිදුවන අවස්ථාවේදී වාර්තා නොවීය.