ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ දිනෙන් දින ඉහළ යන පසුබිමක, ධවල මන්දිර කොරෝනා කාර්ය සාධක බලකාය මේ මස අගදී වසා දැමීම ඇරඹෙන බව ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබේ.
"මෙමෝරියල් ඩේ' හෙවත් ඇමෙරිකානු අනුස්මරණ දිනය (මැයි 25දා) වනවිට කාර්ය සාධක බලකාය අදියරෙන් ඉවත් කරනු ලැබෙනවා. ප්‍රධාන වෛද්‍ය විශේෂඥයන්ට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනපතා උපදෙස් ලබාදේවි. ඒ වගේම ඉදිරි මාස කිහිපය පුරාවටම මාධ්‍ය වෙතත් පිවිසෙන්න පුළුවන්." යැයි හෙතෙම සඳහන් කර ඇත.
ධවල මන්දිරයේ කොරෝනා කාර්ය සාධක බලකාය විසුරුවා හැරීමේ සැලැස්ම මුලින්ම වාර්තා කර තිබුණේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසිනි.
ෆෙඩරල් රජයේ වෛරසයට දක්වන ප්‍රතිචාරය සඳහා වඩාත් දෘශ්‍යමාන මධ්‍යස්ථානය මෙම පියවරෙන් ඉවත් වනු ඇත. එහෙත් කාර්ය සාධක බලකායේ සාමාජිකයන් තවදුරටත් ආණ්ඩුකාරවරුන් හා සමාගම් හා කර්මාන්ත ශාලා ප්‍රධානීන් සමග සංවාදවලට සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කරන බව එම නිලධාරියෙකු වැඩිදුරටත් පවසා තිබේ.
කෙසේ වෙතත් මෙය සිදුවන්නේ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනය විසින් අගෝස්තු 4දා වනවිට එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව 134,000ක් දක්වා දෙගුණයක් වනු ඇතැයි සහ දෛනික මරණ සංඛ්‍යාව 3,000ක් දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කිරීමෙන් පසුවය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මේ වනවිට මරණ සංඛ්‍යාව 71,064ක් වන අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,204,351කි.