ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ කථානායක නැන්සි පෙලෝසි විසින් සභාගර්භය තුළදී නීති සම්පාදකයන් සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා මුඛ ආවරණ පැලඳීමේ අනිවාර්ය නීතියක් පනවා තිබේ.
එහිදී යම් නීති සම්පාදකයෙකුට සිය මුඛ ආවරණය තාවකාලිකව ගැලවීමට අවස්ථාව ලැබෙන්නේ, ඔවුන් සභා ගර්භය තුළ දේශනයක් සිදුකරන අවස්ථාවේදී පමණක් බවද කථානායකවරිය පවසයි.
ඒ අනුව මින් ඉදිරියට මුඛ ආවරණයක් පැලඳ නොසිටින කිසිවෙකුට ඇමෙරිකානු පාර්ලිමේන්තු සභාගර්භය තුළ රැඳී සිටීමට අවසර නොලැබෙන බවද කථානායක නැන්සි පෙලෝසි අවධාරණය කරයි. එසේ මුඛ ආවරණයක් පැලඳ නොසිටින්නේ නම් සාමාජිකයින්ට පිටව යන ලෙසට සභා සැරයන් වෙත උපදෙස් දීමට ඇයට බලය ඇති බව කථානායකවරිය වැඩිදුරටත් පැවසුවාය.
වසංගතය අතරතුර පාර්ලිමේන්තුව තුළදී පවා මුඛ ආවරණයක් පැලඳීම තදින්ම ප්‍රතික්ෂේප කළ රිපබ්ලිකන් කොංග්රස් සභික ලුයි ගොමර්ට් ඊයේ කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇති පුවත, ඇමෙරිකානු පාර්ලිමේන්තුව තුළද මෙසේ සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් දැඩි කිරීමට හේතු වී තිබේ.