කොවිඩ්-19 වසංගතය පාලනයට දැක්වූ ප්‍රතිචාරය දෙස බැලීමේදී ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම අසාර්ථකත්වයක් දැක්වූ නායකයා ඩොනල්ඩ් ට්‍රම්ප් බව ඇමෙරිකානු කථානායක නැන්සි පෙලෝසි ඇමෙරිකානු නායකයාව දැඩි විවේචනයකට ලක්කරමින් පවසයි.
මේ අතර ෆ්ලොරිඩාවේ ජැක්සන්විල් හිදී පැවත්වීමට තිබූ රැලිය අවලංගු කිරීමට ට්‍රම්ප් ගත් තීරණයටද පෙලෝසි ප්‍රතිචාර දැක්වීය.
"මම හිතන්නේ ඔහු වගකිව යුතු වීමට ටිකක් ප්‍රමාදයි" ඇය ට්‍රම්ප්ට තවත් කණේ පහරක් ගැසීය.
ඇය පෙන්වා දෙන්නේ ඇමෙරිකාවේ නව කොරෝනා වෛරස වසංගතය භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මෙන් ඉදිරියට ඇදෙන බවයි.
"සියලුම රිපබ්ලිකන්වරු සිතන්නේ ආයතනික කාමර මේසයේ සිදුවන දේ ගැන විතරයි. සැබවින්ම ඇමෙරිකානු ජනතාවගේ අවශ්‍යතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්. රිපබ්ලිකන්වරුන් කිසිම අවස්ථාවක ඇමෙරිකානු ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට ක්‍රියා කරන්නේ නැහැ." ඇමෙරිකානු ජනාධිපතිවරයා දරණ රිපබ්ලිකන් පක්ෂය දැඩිව විවේචනය කරමින් ඇය මෙසේ අදහස් දැක්වීය.
ඇමෙරිකාව තුළ වෛරසය යම් තරමකින් පැතිර යනවිට මාර්තු මාසයේදී කොවිඩ්-19 වසංගතය පැරදවීමට තමන් හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් හෙවත් මැලේරියාවට ලබාදෙන ඖෂධය නියම කරන බව පවසමින්, මෙම වෛරසය පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැතිව හිතලු කතා කළ ඇමෙරිකානු නායකයා, පසුව මුඛ ආවරණ සම්බන්ධයෙන්ද දේශපාලනමය කෝණයකින් කතා කළේය. අවසානයේදී ඇමෙරිකාවට ආසාදිතයන් මිලියන 4ක් සහ සමග මිනිස් ජීවිත 144,000ක් ඉක්මවා මේ වනවිට අහිමිව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.