ඇමෙරිකා එක්සත් ජනපදය තුළ කළු, ලතින් සහ ආසියානු සම්භවයක් ඇති අයට තවමත් සුදු ජාතිකයන්ට සමානව එන්නත් ලබාගැනීමට හැකියාවක් ලැබී නොමැති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) දත්ත පෙන්වා දෙයි.
CDC දත්තවලට අනුව මෙම කණ්ඩායම් සමස්ත එක්සත් ජනපද ජනගහනයෙන් කොවිඩ්-19 වෛරසයට එරෙහිව සම්පූර්ණයෙන්ම එන්නත් කරන ලද පුද්ගලයන්ගෙන් සුළු කොටසක් නියෝජනය කරයි.
ඒ අනුව සම්පූර්ණයෙන්ම එන්නත ලබාගත් අයගෙන් 8.5%ක් කළු ජාතිකයන් වන නමුත් සමස්ත එක්සත් ජනපද ජනගහනයෙන් 12.4%කි. එමෙන්ම ලතින් ජනතාව එක්සත් ජනපද ජනගහනයෙන් 17%ක් වුවද සම්පූර්ණ එන්නත ලබාගත් අයගෙන් 11%ක් නියෝජනය කරයි. ආසියානු ජනතාව අතර පරතරය කුඩා වන අතර ජනගහනයෙන් 5.8%ට සාපේක්ෂව, සම්පූර්ණයෙන්ම එන්නත ලබාගත් අයගෙන් 5.3%කි.
නමුත් ලතින් නොවන සුදු ජාතිකයන් සම්පූර්ණයෙන්ම එන්නත ලබාගත් අය අතර අධික ලෙස නියෝජනය වේ. එක්සත් ජනපද ජනගහනයෙන් 61.2%ක් සුදු ජාතිකයන් වන නමුත්, සම්පූර්ණයෙන්ම එන්නත ලබාගත් අයගෙන් 65.8%කි. කෙසේ වෙතත් සම්පූර්ණයෙන්ම එන්නත ලබාදුන් අය අතර ඇමරිකානු ඉන්දියානු සහ ඇලස්කාවේ ස්වදේශිකයන්ද තරමක් වැඩිපුර නියෝජනය වන බව CDC දත්ත පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මෙම පරතරය මේ වනවිට තරමක් වැසීමට පටන්ගෙන ඇති බවද සඳහන් වෙයි. මන්දයත් මාසයකට පෙර, සුදු ජාතිකයන් අතර එන්නත් ආවරණය ලතින් ජනතාවට වඩා දෙගුණයකටත් වැඩි වූ අතර කළු ජාතිකයින්ට වඩා 75%කට වඩා වැඩි විය. එනමුදු CDC දත්තවලට අනුව, සම්පූර්ණයෙන්ම එන්නත ලබාඇති සුදු ජාතිකයන්ගේ කොටස තවමත් එන්නත් ලබා ඇති ලතින් ජනතාවගේ කොටසකට වඩා 66%ක් පමණ ඉහළ අගයක් ගන්නා අතර, කළු ජාතිකයන්ට වඩා 56%ක් වැඩිය.
පසුගිය සති දෙක තුළ, ලතින් ජනයා එන්නත් කිරීම ආරම්භ කළ පුද්ගලයින්ගේ ප්‍රමාණයෙන් යම් වැඩි නියෝජනයක් කර ඇති අතර එම පරතරය පියවා ගැනීමට උපකාරී වේ. නමුත් කළු ජාතිකයන් අඩුවෙන් නියෝජනය වන අතර, කොවිඩ්-19 එන්නත පළමු වැනි මාත්‍රාව ලබා ගන්නේ 10 දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් බවද CDC දත්ත පෙන්වා දෙයි.