සඳ මත ඇවිද ගිය ප්‍රථම මිනිසා බවට පත්වී සති කිහිපයකට පසු නාසා ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝන් සිය 39 වැනි උපන් දිනය සමරා තිබුණේ නිරෝධායනය යටතේය.
එය වර්තමාන කොවිඩ්-19 වසංගත ජීවිතයේ වසරක් ගතවන තැන ලෝකයේ බොහෝ දෙනෙකු මේ වනවිටත් අත්විඳ ඇති සාමාන්‍ය දෙයක් වී තිබුණද, වර්ෂ 1969 දී නිරෝධායනය තුළ නීල් ආමස්ට්‍රෝන් අත්විඳි සුවිශේෂී උපන් දිනයක්ද විය.
විශේෂයෙන්ම එදා සඳ තරණයට ගිය ගගනගාමීන් වන මයිකල් කොලින්ස් සහ එඩ්වින් ඕල්ඩ්රින් සමග නීල් ආම්ස්ට්‍රෝන් යළි පෘථිවියට පැමිණි පසු විශේෂ මොඩියුලයක් තුළ දින 21ක ඓතිහාසික නිරෝධායනයක් වෙනුවෙන් යොමුවීමට සිදුවූයේ එම සඳ මෙහෙයුමේදී චන්ද්‍ර ද්‍රව්‍ය සමග අන්තර්ක්‍රියා පැවැත්වීමට ඔවුන්ට සිදුවූ නිසාය.
එහිදී එම අවවාදය සඳහා හේතුව දෙයාකාර වූ අතර, ගගනගාමීන් හානිකර බැක්ටීරියා හෝ වෙනත් නොදන්නා මූලද්‍රව්‍යයන්ට නිරාවරණය වී තිබිය හැකි වීමත්, මෙම මෙහෙයුම මිනිසුන් වෙනත් ආකාශ වස්තුවක පෘෂ්ඨය සමග අන්තර්ක්‍රියා කළ පළමු වැනි අවස්ථාව වීමත් ය. ඒ අනුව වෛද්‍යවරු නිරෝධායනයේ සිටි මෙම ගගනගාමීන් සමීපව නිරීක්ෂණය කළ අතර, වෙනම කණ්ඩායමක් ගගනගාමීන් විසින් ගෙනඑන ලද චන්ද්‍ර පාෂාණ හා දූවිලි පරීක්ෂා කර අධ්‍යයනය කරනු ලැබීය.