තායිවානයේ රෝග පාලනය සඳහා වූ මධ්‍යස්ථානයට අනුව, දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ්-19 ආසාදන කිසිවක් වාර්තා නොකර පසුගිය ඔක්තෝබර් 29දා වනවිට දින 200ක සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කිරීමට ඔවුන් සමත්ව තිබේ.
අවසන් වරට පසුගිය අප්‍රේල් 12 වැනි දින තායිවානයෙන් දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ්-19 ආසාදිත සිද්ධියක් වාර්තා විය.
සමස්තයක් ලෙස එරටින් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 554ක් මේ වනවිට වාර්තා වී තිබුණත්, එයින්ද දේශීයව වෛරසය සම්ප්‍රේෂණය වූ සිද්ධීන් ලෙස සටහන් වන්නේ ආසාදිතයන් 55ක් පමණක් වීම අතිශය සුවිශේෂී ජයග්‍රහණයකි. එරට සිදුව ඇත්තේ වෛරසය ආශ්රිත මරණ 7ක් පමණි.
නමුත් මෙහි වඩාත් වැදගත්ම හා ලෝකයට තායිවනයෙන් උගත හැකි සුවිශේෂී පාඩම වන්නේ, මෙවැනි ජයග්‍රාහී මාවතක සිටියදී පවා එරට මධ්‍යම වසංගත අණදෙන මධ්‍යස්ථානය ක්‍රියාකර තිබූ ආකාරයයි.
ඒ අනුව කිසිදු දේශීය ආසාදන සිද්ධියක් නොමැතිව දින 200ක කාලයක් ගත වූවද, නිතර අත් සේදීම, මුඛ ආවරණ පැලඳීම සහ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම වැනි මහජන සෞඛ්‍ය පුරුදු අත්නොහැර ඒවා දිගටම අනුගමනය කරන ලෙස තායිවානයේ මධ්‍යම වසංගත අණදෙන මධ්‍යස්ථානය එරට ජනතාවට අවධාරණය කර තිබුණි. ඔවුන් අදද එය ඒ ආකාරයෙන්ම අවධාරණය කරයි.
එයින්ද නොනැවති අද ඔවුන් වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙන්නේ, "ඔබට සැක සහිත රෝග ලක්ෂණ ඇත්නම්, කරුණාකර සෞඛ්‍ය කාර්යාංශය හෝ සත්කාරක මධ්‍යස්ථානයක් හා සම්බන්ධ වී වෛද්‍ය ප්‍රතිකාර සඳහා උපදෙස් ගන්න. ඒ අවස්ථාවේදී කිසිවිටෙකත් පොදු ප්‍රවාහනය භාවිත නොකරන්න" යනුවෙනි.
කොවිඩ්-19 පළමු වැනි රැල්ලෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත් බොහෝ රාජ්‍යයන්ට වැරදුණු තැනක් තායිවානය එම රාජ්‍යයන් වෙත මේ තුළින් පෙන්නුම් කර දී ඇත. විශේෂයෙන්ම තම රට තුළ වසංගතය පාලනය වුවද, ඒ වනවිටත් වසංගතය ලෝකය වෙලාගෙන තිබූ නිසා අවදානම හා ඒ පිළිබඳ සැලකිල්ල බිඳකදු අඩු නොකර සිටීමට ඔවුන් නිතර තායිවාන ජනතාව උනන්දු කර ඇත. ඔවුන් තමන් ලැබූ ප්රගතියෙන් උදම් අනන්නට ගොස් නැත.
වරක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂවරයාද මීට සමාන අදහසක් දරමින් කියා තිබුණේ, "වසංගතය පාලනය කිරීමෙන් ලැබූ ප්‍රගතිය, ජයග්‍රහණය ලෙස බුක්ති නොවිඳින්න" කියාය. නමුත් එය නොසලකා ඕනෑවට වඩා ලිහිල් වීමට ගිය රාජ්‍යයන් අද පැහැදිලිව අවදානමක හෙළී ඇති බව ප්රකටය. මෙහිදී තායිවානය, චීනය හා වියට්නාමය වැනි රටවල ජනතාවද පෙන්නුම් කර ඇති ස්වයං විනය, වසංගතය පාලනය කිරීමට දක්වන දැඩි උනන්දුව හා සැලකිල්ලද, මෙවැනි නොපෙනෙන සතුරෙකු සමග සිදුකරන සටනේදී අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති බව පැහැදිලිය.