කොරෝනා මර්දනය කිරීමෙන් දේශපාලඥයින්ට ලකුණු දා ගැනීමට අවශ්‍ය නිසා පළමු වටයේ කොරෝනා රැල්ල මර්දනය කළ නිලධාරීන් වෙනත් ස්ථානවලට යවා ඇති බවත්, ආණ්ඩුව කොරෝනා මර්දනය හුදු දේශපාලන සටන් පාඨයක් බවට පත් කරගත්තා මිස රටින් කොරෝනා තුරන් කිරීමට අවධානය යොමු නොකළ බවත්, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
විපක්ෂනායක කාර්යාලයේදී අද (14) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කීවේය,
බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කොරෝනා රෝගීන් වාර්තා වුනේ ඉන්දියාවේ සිට පැමිණි අයෙගෙන් විය යුතුයි. එහෙම නැතිනම් වෛරසය ලංකාවේ තිබිලා තියෙනවා. කොරෝනා පළමු රැල්ල ආණ්ඩුව යට ගැහුවේ ඡන්දයක් තියලා තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට අවශ්‍යයි නිසයි. කොරෝනා මර්දනය කරපු බව මැතිරවණ සටන් පාඨයක් බවට ආණ්ඩුව පත් කරගත්තා මිස රට ඇතුලේ කොරෝනා වෛරසය තුරන් කිරීමට හැකියාවක් ලැබිලා නෑ.
බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් නිරෝධායනය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධ කර නොගත් බව පැහැදිලිව කියා තිබෙනවා. ගුවන් තොටුපලින් පසුගිය කාලයේදී ආපු චීන ජාතිකයින් නිරෝධායනය කළේ නෑ. මේ විදියට අපි නොදන්න කී දෙනෙක් නිරෝධායනය නොවී ලංකාවට එන්න ඇතිද? විදේශගත ශ්‍රමිකයින් ලංකාවට එන්න බැරිව ලක්ෂ ගණනක් දුක් විදිනවා. ඒ අතරම ඔ්නෑ තරම් පිරිසක් නිරෝධායනය කිරීමට ආණ්ඩුවට හැකියාව තිබෙන බව හමුදාපතිවරයා කියනවා. එහෙනම් දුක් විදින විදේශගත ශ්‍රමිකයින් නිරෝධායනය කර ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි? ඒ අය ගෙන්වාගන්නේ නැතිව බ්‍රැන්ඩික්ස් එකේ අවශ්‍යතාවය අනුව ඉන්දියාවේ සිට පිරිස් ගෙන්වා ගැනීමට ආණ්ඩුව අවසර දී තිබෙනවා.
මේ තමයි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු නොකරන බවට හොදම උදාහරණය. තමන්ගේ හිතවතුන්ට සලකන්න ගිහින් කොරෝනා ව්‍යාප්තවීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිව යුතුයි.