බ්ලැක්මේල් කිරීම්, අවහිර කිරීම් සහ අධික පීඩනයක් එල්ල කිරීම් ගමන් කරන්නේ පිටවීමක් නොමැති අවසානයකට පමණක් යැයි චීන ජනාධිපති ෂී ජින්පිං ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සිහින් අනතුරු ඇඟවීමක් සිදුකරමින් පවසයි.
මීට වසර 70කට පෙර කොරියානු යුද්ධයට චීනය සම්බන්ධවීම සිහිපත් කළ, කොරියානු යුද සංවත්සර කතාව සිදුකරමින් චීන නායකයා මෙම කණේ පහර එක්සත් ජනපදය වෙත එල්ල කර තිබුණේ ඊයේ (24දා) දිනයේදීය.
1950 ඔක්තෝබර් මාසයේදී චීන හමුදා උතුරු කොරියානු දේශ සීමාව තරණය කළේ, එක්සත් ජනපද ආක්‍රමණයට එරෙහිව නැගී සිටීමටත්, කොරියාවට ආධාර කිරීමටත් යැයි බීජිං පාලනය අවධාරණය කරයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ඩිමොක්රටික් ප්‍රතිවාදියා වූ හිටපු උප ජනාධිපති ජෝ බයිඩන් අතර නැෂ්විල් හි එක්සත් ජනපද ජනාධිපතිවරණ අවසන් විවාදය පැවැත්වෙමින් තිබියදී චීන නායකයා මෙම කතාව සිදුකිරීමද විශේෂත්වයකි.
එක්සත් ජනපද විවාදය අතරතුර, අපේක්ෂකයන් දෙදෙනාම චීනය සමග කටයුතු කිරීම සඳහා වඩා ස්ථාවරව නැගී සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව තර්ක විතර්ක ඉදිරිපත් කරගත් අතර, දෙදෙනාම නැවත නැගී සිටින බීජිං පාලනය අභියස පෙරමුණ ගන්නා බව කියා සිටියහ.
කෙසේ වෙතත් සිකුරාදා සිය කතාවේදී ෂී ජින්පිං, කොරියානු යුද්ධයේදී චීනය වෙතද එල්ල වූ එක්සත් ජනපද ආක්‍රමණය දැඩිව හෙළා දුටු අතර, එවකට යල් පැන ගිය හමුදාවක් ලෙස සැලකූ චීන හමුදාව, සිය පුරාවෘත්තීය ඇමෙරිකානු සගයා එම සටනේදී පරාජය කිරීමට සමත් වූ බවද අවධාරණය කළේය.
චීනයේ මහජන විමුක්ති හමුදාවේ සේනාධිනායකයා වන ෂී ජින්පිං එම දේශනයේදී තවදුරටත් අනතුරු ඇඟවූයේ, බිජිං පාලනය සෑමවිටම සාමය අවශ්‍යයෙන්ම සලකන නමුදු, එය (බීජිං පාලනය) සටනකදී පසුබසින්නේ නැති බව අඟවමිනි.
"චීන ජනතාව අදහස් කරන්නේ, ආක්‍රමණිකයන්ට ඔවුන් තේරුම් ගන්නා භාෂාවකින් කතා කළ යුතු බවයි." ෂී ජින්පිං වැඩිදුරටත් අවධාරණය කළේය.