කොවිඩ්-19 වෛරසයට ගොදුරුවිය හැකි වැඩිහිටියන් වැනි අවදානම් කාණ්ඩායම් වෛරසයේ නව ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වාර්ෂික බූස්ටර් එන්නතක් ලබාදීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමුව ඇති බව එහි අභ්‍යන්තර වාර්තාවකින් හෙළි වෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 එන්නත වැඩසටහන වන COVAX හි සම නායකත්වය දරන එන්නත් සන්ධානයක් වන ගාවි හි මණ්ඩල රැස්වීමක සාකච්ඡා කළ අභ්‍යන්තර වාර්තාවක මෙම ඇස්තමේන්තුව ඇතුළත්ව තිබූ බව කියයි. කෙසේ වෙතත් මෙම පුරෝකථනය අනාගතයේදී යම් වෙනස්කම්වලට භාජනය විය හැකි බවද සඳහන් වේ.
මෙහිදී එන්නත් නිෂ්පාදකයන් වන මොඩෙර්නා ඉන්ක් සහ ෆයිසර් ඉන්කෝපරේෂන්, එහි ජර්මානු හවුල්කරු බයෝ-එන්ටෙක් සමග ඔවුන්ගේ මතය ඉදිරිපත් කරමින්, ඉහළ ප්‍රතිශක්තියක් පවත්වා ගැනීම සඳහා ලෝකයට ඉතා ඉක්මනින් බූස්ටර් එන්නතක අවශ්‍යතාව අවධාරණය කර ඇති බවද කියැවෙයි.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉහළ අවදානම් සහිත පුද්ගලයන් සඳහා වාර්ෂික බූස්ටර් එන්නතක් ලබාදීම එහි දර්ශකයේ මූලික තත්ත්වය ලෙස සලකන අතර, සාමාන්‍ය ජනතාව සඳහා සෑම වසර දෙකකට වරක්ම බූස්ටර් එන්නතක් ලබාදීම පිළිබඳ සාකච්ඡා පවත්වා ඇති බවද අනාවරණය වේ.
ඒ අනුව මූලික තත්ත්වය යටතේ නව ප්රභේදයන් අඛණ්ඩව මතුවනු ඇති බවත්, මෙම තර්ජනවලට මුහුණදීම සඳහා එන්නත් නිරන්තරයෙන් යාවත්කාලීන කරන බවත් පෙන්නුම් කර ඇත. කෙසේ වෙතත් මෙම අභ්‍යන්තර ලේඛනයේ අන්තර්ගතය පිළිබඳව අදහස් දැක්වීම එක්සත් ජාතීන්ගේ ඒජන්සිය ප්‍රතික්ෂේප කළේය.