කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේද සහ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලින් ජනතාව ඉවත්වීම ආදී වෙනත් ගැටලු හේතුවෙන් එක්සත් ජනපදයේ ඉතාලියට සමානව යළි ලොක්ඩවුන් වීමේ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ගැන එරට වසංගත රෝග පිළිබඳ ප්‍රමුඛතම විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.
"ඔවුන්ට රෝගීන්ගේ අඩුවීමක් දක්නට ලැබුණා. ඔවුන් මුලින් ඉතා විශාල පීඩාවක් ලැබුවා. නමුත් මේ රෝගීණ් අඩුවීමත් සමග ඔවුන් අවන්හල් විවෘත කළා. බාර් කිහිපයක් විවෘත කළා. තරුණයින් විශේෂයෙන් මුඛ ආවරණ පැලඳීම නතර කළා. මේ සියලු කාරණා සමග හදිසියේම යළිත් වසංගතය හිස එසවීමට පටන්ගෙන තිබෙනවා." ඉතාලියේ ඇතිවූ සිද්ධිය විස්තර කරමින් වෛද්‍ය ෆවුසි කියා සිටියේය.
ඔහු තවදුරටත් පැවසුවේ, "අපි දැන් ඉන්නේ එවැනි එතැනයි. අපට එය වළක්වා ගත හැකියි. අපි දිගටම මිනිසුන්ට එන්නත් ලබා දුන්නත්, දැනට ක්‍රියාත්මක මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගයන් හදිසියේම පසුබසින්නේ නැතිව වැඩි වැඩියෙන් ආරක්ෂාව ලබා ගැනීමෙන් මේ තත්ත්වය වළක්වා ගත හැකියි. වසංගතය ජයගත හැකියි" යනුවෙනි.
ඒ අනුව වෛද්‍ය ඇන්තනී ෆවුසි අවධාරණය කරන්නේ, එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුවද, මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස මුඛ ආවරණ භාවිතය, නිතර දෑත් සේදීම සහ සමාජ දුරස්ථකරණය ආදී ක්‍රියාමාර්ග අතපසු නොකරන ලෙසයි. වසංගතයේ පළමු රැල්ලෙන් පසුව දෙවැනි රැල්ල අවස්ථාවේදී එහි අවදානම නොතැකූ බොහෝ රාජ්‍යයන්ට මෙය වඩාත් හොඳ පණිවුඩයක් වන්නේ, ඉදිරියේ ඇතිවිය හැකි තෙවැනි රැල්ලකින් වඩාත් දරුණු බැටකෑමක් දැන්මම වළක්වා ගැනීම සඳහාය.