කුඹුරු ඉඩමක් ගොඩකර ගැනීම සඳහා රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ නාගරික සංවර්ධන අධිකාරියේ දඹුල්ල කාර්යාලයේ සැලසුම් නිලධාරීවරයා අද දින දහවල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියේ දඹුල්ල ප්රධාන කාර්යාලයේ සැලසුම් නිලධාරී ඡන්න ආරියරත්න නැමැති අයෙකි.
ගලේවෙල වාසලකෝට්ටේ පදිංචිකරුවෙකුගෙන් මෙම නිලධාරියා රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ඉඩම ගොඩකිරීම සඳහා ඉල්ලා ඇති අතර එම පුද්ගලයා අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත පැමිණිලි කිරීමෙන් පසුව නිලධාරි කණ්ඩායමක් දඹුල්ල කාර්යාලයට ගොස් මුදල ලබා දෙන අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නිලධාරියා අත්අඩංගුවට ගැනීමත් සමඟ එම කාර්යාලයේ සේවක සේවිකාවන් දැඩි ලෙස නොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට වී තිබේ. මෙම ගොඩනැගිල්ලේම දඹුල්ල මහ නගර සභාව ඉඩම් කාර්යාලය නාගරික සංවර්ධන අධිකාරිය යන කාර්යාල තුනම පවත්වාගෙන යන අතර එම සෑම අංශයකම නිලධාරීන් පැමිණ දැඩි නොසන්සුන් ආකාරයෙන් හැසිරෙන අයුරු දැක ගැනීමට හැකිවිය.
මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරින් කියා සිටියේ තමන්ගේ රාජකාරියට බාධා නොකරන ලෙසත් මුදල් ලබාගනිද්දී මේ වැටලීම කල බවය ,
මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් නාගරික සංවර්ධන අධිකාරියේ දඹුල්ල සැලසුම් නිලධාරීවරයා ප්රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන නිලධාරීහු පවසති .