අලුත්වැඩියාවකින් තොරව වාහන ධාවනයේ යෙදවීම මහාමාර්ග අනතුරු සඳහා මේ වනවිට ප්‍රධානතම හේතුවක් වී ඇතැයි ඊයේ (02දා) දින පැවැති ප්‍රවාහන අමාත්‍යාංශ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී අනාවරණය වී තිබේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති මෙම රැස්වීම සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මධ්‍යම පරිසර අධිකාරිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යනාදී ආයතනවල නිලධාරීන් සහභාගි වී ඇති අතර, එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින රථ වාහන රක්ෂණ ක්‍රමවේදයන්හි පවතින අඩුපාඩු හේතුවෙන්ද අලුත්වැඩියාවකින් තොරව වාහන ධාවනය සිදුවන බවයි.
ඒ අනුව අනතුරක් සිදු වූ පසු අදාළ රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීමෙන් අනතුරුව එම මුදල් යොදවා වාහනය යථා තත්ත්වයට පත්කළේද, නැද්ද යන්න පිළිබඳ දැන ගැනීම උදෙසා වූ විධිමත් ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුළ නොමැති බවද මෙම රැස්වීමේදී අනාවරණය වී තිබේ.
කෙසේ වුවද මෙම සියලු කරුණු පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කොට සකස් කරන ලද වාර්තාවක් මේ මස 11 වැනිදා පාර්ලිමේන්තු කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති, වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා 'අද'ට ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව මෙම තත්ත්වයන් සඳහා ගත යුතු නීතිමය හා තාක්ෂණික ක්‍රමවේද මොනවාද යන්න පිළිබඳ ඉදිරියේදී පුළුල්ව සාකච්ඡා කිරීමට නියමිත බවත්, එසේම රජයේ විශ්වවිද්‍යාලයක් හරහා සමීක්ෂණයක් සිදු කිරීමට අවධානය යොමුව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.