2018 වසරේ දේශීය අර්තාපල් අල ගොවියා ගෙන් ආණ්ඩුව මිලදී ගත් අර්තාපල් අල සඳහා තවමත් අල ගොවීන්ට රජය රුපියල් දෙකෝටි දහත්ලක්ෂ විසිදහස් හාරසිය අසුහතක මුදලක් ගෙවීමට තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ ඌවපරණගම ගොවි සංවිධාන එකමුතුව අවධාරණය කරති.
සමුපකාර දෙපාර්තමේන්තුව සිදුකර ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම අද ( 09 ) දින සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ දී පැවැත්විණි.
එහිදී නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ 2018 වසරේ අර්තාපල් අල ගොවීන්ගෙන් කිලෝවක් රුපියල් 92 බැගින් රජය අර්තාපල් අල කිලෝ විසි ලක්ෂ හතළිස් දහස් පන්සිය අසූ දෙකක ප්‍රමාණයක් මිලදි ගත් බවය.
අවස්ථා කිහිපයකදීම ගොවීන්ට ටික ටික මුදල් ලබාදී මේ වන විට රුපියල් රුපියල් දෙකෝටි දහත්ලක්ෂ විසිදහස් හාරසිය අසුහතක මුදලක් සමුපකාර දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිතිය මගින් ලබාදිය යුතු බවය.
ශ්‍රී ලංකා සමුපකාර පාරිභෝගික සමිතියෙ සභාපතිත්වය දරනු ලබන්නේ හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහෝදරයෙකු වූ රුවන් බණ්ඩාර තෙන්නකෝන් මහතා බවද නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේය.
වසරක පමණ කාලයක් ගත වී ඇතත් අර්තාපල් අල ගොවීන් ගේ මෙම මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කළද දිනෙන් දින කල් දමන බවත් සියලු මුදල් මේ මස නව වෙනි දිනට පෙර ගෙවා අවසන් කරන බවට ලිඛිත පොරොන්දු වි තිබෙන බවද ඔහු ලිපියක් පෙන්වමින් පෙන්වා දුන්නේය.
සමුපකාර අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා පාරිභෝගික සමිතිය වෙත රජය රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක මුදලක් අත්තිකාරම් වශයෙන් අර්තාපල් අල මිලදී ගැනීමට ලබාදී තිබෙන බවත් එහෙත් මෙතෙක් රජය එම මුදල හෝ ගෙවා නැතැයි නාමල් කරුණාරත්න මහතා චෝදනා කළේය.
ඌවපරණගම ප්‍රදේශයේ අර්තාපල් අල ගොවීන්ට මේ වන විට සිදුව ඇති පාඩුවට වන්දි මුදල සමග වහාම මෙම මුදල ගෙවිය යුතු බවත් එසේ නොවන්නේ නම් ඉදිරියේ දී ගොවීන් ඒකරාශී කොට දැවැන්ත අරගලයකට යන බවද නාමල් කරුණාරත්න මහතා මෙහිදී මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස