ආයෝජන කලාපවල සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කොවිඩ් එන්නත්කරණය කඩිනම් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
බියගම අපනයන සැකසුම් කලාපයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ උද්ගතව ඇති අභියෝගයන්ට මුහුණෙදෙමින් බියගම අපනයන සැකසුම් කලාපයේ නිෂ්පාදන සහ අපනයන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මෙහි දී විශේෂ අවධානයක් යොමු විය.
සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය හා ඒකාබද්ධව කොවිඩ් එන්නත්කරණ වැඩසටහන කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීම, අවශ්‍යතාව අනුව නිදහස් ආයෝජන කලාපවල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීම සහ අනෙකුත් ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.
අපිට දැඩි උවමනාවක් තිබෙනවා මෙම එන්නත්කරණ වැඩසටහන කඩිනම් කර ඉතාමත් ඉක්මනින් අවශ්‍ය සියලුදෙනාටම එන්නත ලබාදෙන්න.
ආයෝජන කලාප සදහා එන්නත් 130,000 ක් ලබාගැනීමට ජනාධිපතිතුමා සමග සාකච්ඡා කර තිබෙනවා. මේ මාසේ අග සතියේ එන එන්නත් මිලියනයෙන් එම එන්නත් ප්‍රමාණය වෙන් කරගන්න අපට හැකියාව තියෙනවා.
ආයෝජන කලාප තුළම එන්නත්කරණයට ජනාධිපතිතුමා හා සෞඛ්‍ය අංශවලින් අනුමැතිය ලැබිලා තිබෙනවා. සියලුදෙනගේ සහය ඇතිව කටුනායක අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
බියගම හා අනෙක් නිදහස් ආයෝජන කලාපවලටත් අවශ්‍යතාව අනුව යම් මැදිහත්වීමක් කර එම අවශ්‍යතාවය සපුරා දෙන්න පුළුවන්. ආයෝජන කලාපය ඇතුළත හෝ ආසන්න ප්‍රදේශයක එය ස්ථානගත කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය සහයෝගය අපි දෙන්නම්.