කිළිනොච්චිය අම්බාලකුලම් ගම්මානයට කඩාවැදුණු දිවියකු අද (21) උදෑසන වනජීවි නිලධාරියෙකු ඇතුළු එම ගම්මානයේ පුද්ගලයන් දස දෙනකු පමණ සපා කෑමෙන් පසුව ගම්වාසීන් විසින් අදාළ දිවියාට පහරදී මරා දමා ඇති බව වනජීවි නිලධාරීන් පවසයි.
අම්බාකුලම් ගම්මානයේ ගවයන් හා එළුවන් දඩයම් කිරීම සඳහා උදෑසන ගම්වැදුණු දිවියා පළමුව ගම්වාසීන් සිව්දෙනකුට ප්රථමයෙන් පහරදී සපාකා ඇති අතර එම පහරදීමෙන් පසු දිවියා ප්රදේශයේ වගාබිමකට ගොස් සැගවී සිට ඇත.
දිවියා නිර්වින්දනය කර අල්ලා ගැනීම සඳහා එම ස්ථානයට පැමිණි කිළිනොච්චිය වනජීවි පශු නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කළ අතර එම මෙහෙයුම අතරවාරයේදී දිවියා විසින් වනජීවී නිලධාරියෙකුට පහරදීම හේතුවෙන් එක් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
වනජීවි නිලධාරීන් ඉවත්වීමත් සමඟ ගම්වාසීන් පිරිසක් පොලු මුගුරු අතැතිව දිවියා මරා දැමීම සඳහා සොයමින් සිටියදී එහි සිටි පිරිසට නැවත වරක් පහරදුන් දිවියා පුද්ගලයන් පස්දෙනකු සපාකා තිබේ.
දිවියාගේ පහරදීමත් සමඟ එම ස්ථානයට පැමිණි සෙසු ප්රදේශවාසීන් දිවියාට පොලු මුගුරුවලින් පහරදී මරාදමා ඇති අතර දිවියාට පහරදී මරා දමන අවස්ථාවේ වනජීවි නිලධාරීන් ඉවත්ව සිටි බව ප්රදේශවාසීහු කියති.
වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති මරා දැමුණු දිවියා දිගින් අඩි පහක් පමණ හොඳින් වැඩුණු සත්ත්වයෙකු බව කිළිනොච්චිය වනජීවී කාර්යාලය සඳහන් කරයි.
