කොවිඩ්-19 වසංගතයෙන් බැටකමින් සිටි ඉන්දියාවට සහ බංග්ලාදේශයට බලපෑ අම්ෆාන් සුපිරි සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිටත් ඉන්දියාවේ මරණ 72ක් වාර්තා වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම මරණවලින් මරණ 15ක්ම කොල්කටා නුවරින් වාර්තා වී ඇති අතර, එම ප්‍රදේශයේ මාර්ග ආශ්‍රිතව ගස් 5,000කට වඩා කඩා වැටී ඇති අතර, වීදි පුරා විදුලි කණු කඩා වැටීමක්ද වාර්තා වෙයි.
ඒ අනුව කොල්කටා ආශ්‍රිතව විදුලි සැපයුම සහ දුරකථන සම්බන්ධතා අවහිර වී ඇති බවද සඳහන් වන අතර, නගර සභා සේවකයන් විසින් මාර්ගවල ගස් හා සෙස් දෑ ඉවත් කරමින් සිටින බවද සඳහන් වෙයි.
සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයන් මෙන්ම, නායයෑම්ද වාර්තා වී ඇති අතර මියගිය අය අතර දියේ ගිලී සිදුවූ මරණ මෙන්ම, නායයෑම්වලට ගොදුරු වූවෝද වෙති.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද (22දා) කොල්කටා වෙත පැමිණ සිදුව ඇති හානිය නිරීක්ෂණය කිරීමට නියමිතව ඇති බව ඉන්දී්‍ය මාධ්‍ය වාර්තා කරයි.
මේ තත්ත්වය සමග සහන සහ පුනරුත්ථාපන කටයුතු සඳහා ඉන්දීය රු.කෝටි 1,000ක අරමුදලක් පිහිටුවීමට සූදානම් වන අතර, මියගිය සෑම කෙනෙකුගේම පවුලට රු.ලක්ෂ 2.5ක වන්දියක් ගෙවන බවද ප්‍රකාශ කර තිබේ.
අද දිනයේදී සුළි කුණාටුව පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති අතර, එය උතුරු බංග්ලාදේශයට හා අසල්වැසි ප්‍රදේශයට ගමන් කරමින් තිබේ.
ඉදිරි පැය 12ක කාලයේදී එය දිගටම උතුරු හා ඊසාන දෙසට ගමන් කරමින් අඩු පීඩන ප්‍රදේශයක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ අංශ පවසයි.