අපේ පරම්පරාවේ සෑම ගමකම සෑම නායකයෙක්ටම ඒ ගම් ආරක්ෂා කරගන්න බලය අයිතිය තියෙන බවත් ගමට අසාධාරණයක් විනාශයක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳ කථා කරන්න අයිතිය ගම්වල සියලු නායකයන්ට තිබෙන බව ආදිවාසි නායක ඌරුවලිගයේ වන්නිලා ඇත්තන් පවසයි.
එහෙම කථා කරාම ඒ නායකයන්ට මරණීය තර්ජන හා ප්රහාරයන් එල්ල වෙනවානම් එතැන සාධාරණයක් නොමැති බවත් මේ රටේ වත්මන් නායකයෝ මේ අවස්ථාවේදී කොහොමද කටයුතු කරන්නේ කියලා මම බලාගෙන ඉන්නා බවත් අපිට එල්ල කල මේ ප්‍රහාරය පිළිබඳව මම ජාත්‍යන්තරයත් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා “ යැයි මාධ්‍ය හමුක් කැඳවමින් ආදිවාසී නයක, විශ්ව කීර්ති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්, බිබිල රතුගල ගම්මානයේ නායක සුදාවන්නිලා ඇත්තන්ට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අද ( 16) දඹාන කොට බකිණිය ගම්මානයේදී අදහස් දක්වමින් මේ බව පැවසිය.
මෙහිදි අදහස් දැක්වු වන්නිල ඇත්තෝ,
“මගේ වරිගේ අය දිස්ත්‍රික්ක 6ක, ගම් 62ක ඉන්නවා. ඒ ගම් 62 නායකයන් 62ක් ඉන්නවා. 15 හවස මට ආරංචි උනා බිබිල රතුගල ගම්මානයේ ආදිවාසී නායක සුදා වන්නියා ඇත්තන පහරදීමක් වෙලා තියෙනවා කියලා. නායකතුමාගේ බිරිද තමයි මාව දැනුවත් කලේ.
ඊට පස්සේ මම ඒ පිළිබඳ කරුණු සොයා බැලුවාම මට ආරංචි උනේ මන්ත්‍රිවරයෙක්ගේ ලේකම් කෙනෙක් තමයි මේ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ කියලා. ඒකට හේතු මොනවාද කියලත් මම අහලා හොලායා බැලුවා.
මම දැනිත්ත කරුණ තමයි, සුදා වන්නියා ඇත්තන්ගේ වත්තේ මිදුලෙන් පාරක් ඉල්ලලා තියෙනවා ඇළේ වැලි ගොඩදාන්න වාහන ගෙනියන්න. ඒ ඇත්තෝ ඒ ප්‍ර දේශයේ සිදුවන පරිසර හානි පිළිබද මීට පෙරත් කථා කරලා තියෙනවා. වැලි කැණිම් වලින් විශාල පරිසර විනාශයක් සිදුවෙනවා. ඉවුරු සෝදාපාලුවෙලා විශාල වෘක්ෂ විනාශයට පත්වෙනවා කියලා ඇළේ වතුර හිදෙනවා කියලා මාධ්‍යයටත් කථා කරලා තිබුනා. එහෙම කථා කරා කියලා තමයි මන්ත්‍රීවරයෙකුගේ ලේකම් විසින් මේ ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ.
අද දවස වෙනකොට මුලු ලෝකයම කථාවෙනවා පරිසරය විනාශ වෙනවා දූෂණය වෙනවා මිනිසුන්ට ජීවත්වෙන්න ඉන්න හිටින්න බැරි තත්ත්වයක් ඇතිවේගෙන යනවා කියලා. අපේ රටේ ආණ්ඩුවේ ලොකු ලොකු අයත් මේ පරිසරය ගැන ලොකුවට කථා කරනවා. පරිසරය ආරක්ෂා කරනවා කියලා කියන්නේ නගරයම සුද්ද පවිත්‍ර කරනවා කියන එක නෙවෙයි. පරිසරය කියන්නේ මේ කැළැව, ඇළ, දොළ ගංගා කඳු මේ ආදි සෑම දෙයක්ම මේ පරිසරයට ස්වාභාදහමට අයත් දේවල්. මේවා තමයි ආරක්ෂා වෙන්ඩ ඕන. අපේ ජනවරිගය මේවා ආරක්ෂා කර ගනිමින් තමයි කැළෑවල ජීවත් උනේ. අද දියුණුයි කියන මේ සමාජයේ මිනිසුන්ට වැඩියෙන්ම ආදායම් ලබන ව්‍යාපාරය බවට පත්වෙලා තියෙන්නේ “වැලි“ . මේ අපේ ගම්වලත් ඇළ දොළවල් වල හොරට වැලි ජාවාරම් ජයට කෙරෙනවා. වැලි ජාවාරම් ගැන කථා කරා කියලා බිබිල ආදිවාසී නායක සුදා වන්නියා ඇත්තන්ට පහරදීලා , මරණ තර්ජන කරනවානම් එය අපේ ආදිවාසී පරම්පරාවටම සිදු කල ලොකු නිග්‍රහයක්.
මේ රටේ පාලකයන් අපේ පරම්පරාව පරිසරය ගැන කථා කරනවානම් මේවාට නීතිය නිසි අයුරින්ම ක්‍රියාත්මක වෙන්න ඕන. බලවතාට එක නීතියක් දුප්පතාට එක නීතියක් ලෙස රටේ නිති දෙකක් ක්‍රියාත්මක වීම කොහොමත්ම සිදුවිය යුතු නෑ” යැයි වන්නිල ඇත්තෝ මෙහිදි සඳහන් කළේය.
මහියංගණ - රංජිත් කරුණාවිර