වසර හතරහමාරක් රට පාලනය කරපු මේ ආණ්ඩුව අද වන විට රට අස්ථාවර තත්වයකට ඇද ගෙන ගිහින් ගිනස් වාර්තා පොතට එකතු වි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
අද (1) කොළඹ පැවති රැස්විමකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
"අද වෙනකොට විදුලිබල මණ්ඩලයත් තෙල් සංස්ථාවත් භාර විෂය අමාත්‍යවරු සටනකට සූදානම් වෙනවා. තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ප්‍රකාශ කළා විදුලිබල මණ්ඩලයට තෙල් දෙන එක නතර කරන බව. තෙල් එලන නළ මාර්ගයේ අනවසර පදිංචිකරුවෝ ඉවත් කිරීමට විදුලිබල විෂය භාර රවි කරුණානායක අමාත්‍යවරයා ඉඩ දෙන්නෙ නැහැ. හේතුවෙලා තියෙන්නේ රවි කරුණානායක මහතාට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දය දුන් ජනතාව ඉවත් කිරීමට ඉඩදිය නොහැකි බව ප්‍රකාශ කිරීමයි. ඒ අනුව ඊයේ රාත්‍රී 12.00 සිට විදුලිබල මණ්ඩලයට තෙල් නිකුත් කිරීම නතර කර තිබෙනවා. මේකෙන් සිද්ධ වෙන්නේ විදුලියෙන් ක්‍රියාත්මක කරන ජෙනරේටර් ක්‍රියාත්මක කරන්න නොහැකි වීමයි.
හෙට රවි කරුණානායක ඇමතිවරයා කියනවා ජෙනරේටර දුවන්න තෙල් දෙන්නෙ නැත්තං තෙල් සංස්ථාවට විදුලිය දෙන්නේ නැහැ කියලා . මේ කට්ටිය මරු බඩු. මේ විදිහට ගිහින් රට කොහෙද නවතින්නේ. හෙට වෙනකට රවි කරුණානායක මහත්තයට ජෙනරේටර් දුවන්න තෙල් දුන්නෙ නැතුවම අපිට ආයිත් ඉටිපන්දම් පත්තු කරගෙන කළුවරේ ඉන්න සිද්ධ වෙනවා. අපිට කළුවරට වෙලා ඉන්න වෙන අතරේ කාරෙක නවත්තගෙන සෙට් එකේ පෝලිමේ ඉන්නත් වෙනවා. මේ දෙකම අපිට විඳලා පුරුදුයි.
මේ ඇමතිවරු දෙන්නා අතර පුද්ගලික ප්‍රශ්නයක් තියෙනවාද කියන්න දන්නේ නැහැ. නමුත් අපිට සිද්ධ වෙන්නේ කරුවලේ ඉන්න ගමන් තෙල් නැතිව ඉන්න. මේ විදිහට මේ ආණ්ඩුවට ඉස්සරහට යන්න පුළුවන් ද. ජනතාවට සුබවාදී අනාගතයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද. කවදාවත් නැහැ.
අද ජූලි පළවෙනිදා. දෙසැම්බර් 8 වෙනකොට ජනාධිපතිවරණය අවසන් කර නව ජනාධිපතිවරයෙක් දිවුරුම් දෙන්න ඕනේ. නව පාලනයක් නව රජයක් නව ජනාධිපතිවරයෙක් මේ රටේ බිහිවෙන්න නියමිතයි. ඒ වෙනකන් මේ ආණ්ඩුව රට පාලනය කරගෙන ගියොත් රටට වෙන්නේ මොකක්ද. පෙර නිමිති අපට පේන්න තියෙනවා" යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.