ඔහු නවකතාකරුවෙක්, කවියෙක්, සාහිත්‍ය දේශකයෙක් විදියට ඔබ හදුනන්නෙක්. දේශපාලන ක්‍රියාකාරියෙක් ලෙස වසර 20කට අධික කාලයක පටන් කටයුතු කළත්, ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන්නෙ පළමු වතාවට. ජාතික ජනබලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින ඔහු විමල් කැටිපෙආරච්චි. මේ ඔහු සමග කළ සංවාද සටහනකි.
01.එදිනෙදා ජීවන ගැටලු එක්ක පොරබදන ජනතාවකට 'ජීවිතය වෙනුවෙන්' වගේ තේමා පාඨයක් වැටහෙයි ද?
ඒක නිකම්ම නිකම් මැතිවරණ ටැග් ලයින් එකක් නෙමෙයි. ජීවිතය වෙනුවෙන් දේශපාලනය කිරීම ක්‍රියාවලියක් සහ මැදිහත්වීමක්. අපි අපේ අරගලය පටන් ගන්නෙ මැතිවරණයෙන් පස්සෙ. මිනිස්සුන්ට ජීවිතය ගේන එක තමයි අපේ ව්‍යායාමය. මේ පාලකයො මිනිස්සුගේ ජීවිත නැති කරන්න හදන හැම වෙලාවකම අපි ඒ ජීවිත වෙනුවෙන් පෙනී සිටිනවා.
අපි ඉතිහාසයෙ ඉඳන්ම ඒක කරලා තියෙනවා. අගෝස්තු 5වෙනිදයින් පස්සෙ තමයි මේක මිනිස්සු හොඳටම තේරුම් ගන්නෙ. ඔවුන්ගේ ප්‍රශ්න ගැන අපි කතා කරද්දි, ඒ වෙනුවෙන් පෙනී සිටිද්දි මිනිස්සුන්ට තේරෙනවා මොකක් ද ජීවිතය කියලා. අපි පෙනී සිටින්නෙ ඒ අයගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් කියලා. ජීවිතය වෙනුවෙන් කියන්නේ අන්න ඒකයි.
02. යහපාලන රජය බලයට ගේන්න ඔබ සක්‍රීය දායකත්වයක් දැක්වූවා. 2015 ඔබට තිබුණා "රටකට ඕන අපමණ අගයක්" කියලා අදහසක්. දැන් ඒක වෙනස් වෙලා ද?
මම එදා හිටපු අදහසේමයි අදත් ඉන්නේ. ඇයි රටකට අපමණ අගයක් ඕන නැද්ද? මේ රට කුඩු ජාවාරම්කාරයින්ගේ, පාතාල නාකයින්ගෙ තිප්පොලක් වෙන්න ඕන ද? එදා ඒ කිව්ව දේම තමයි මං අදත් කියන්නෙ. මේ රටට, මේ රටේ මිනිස්සුන්ට අපමණ අගයක් ඕන.
03. ඒ කියන්නේ, ඔබ මෙවර ජාතික ජනබලවේගය සමග එකතු වීම දේශපාලන ඩීල් එකක් ද?
කිසිම ඩීල් එකක් නෑ. ජාතික ජන බලවේගය තමයි අපේ හෘදය සාක්ෂියට එකඟව දේශපාලනය කරන්න පුලුවන් තැන. ජාතික ජන බලවේගය මේ රටේ තීරණාත්මක බලවේගය කරන්න, ඒ තුළින් මේ රටේ ඉරණම සුබවාදීව විසඳන්න අපට කළ හැකි උපරිම කැපකිරීම අපි කරනව.
04. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වගකීම කොයි වගේ එකක් කියලද ඔබ හිතන්නේ?
මං හිතන්නේ අපි පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන්නේ ජනතාව. ඒ නිසා ඔවුන්ට අහිතකර පනත්, විවිධ යෝජනා ඉදිරිපත් වුණාම ඊට එරෙහිව නැගී සිටීමත්, ජනතාවට හිතකර යෝජනාවලට සහය දීමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වගකීමක්. පාලකයො ජනතාවට අනතුරක් කරන්න හදන කොට ඔවුන්ව ආරක්ෂා කරන්න ඕන. එහෙම මන්ත්‍රීවරු පිරිසක් අපේ පාර්ලිමේන්තුවට අවශ්‍යයි.
05. ඔබේ මැතිවරණ ප්‍රචාරන ව්‍යාපාරය සඳහා විශාල මුදලක් වියදම් කරන බවක් පේනවා.
ඒ සියල්ල පාහේ ස්වෙච්ඡා ශ්රමයක ප්‍රතිපල. වැඩක් කරන්න පුලුවන් පිරිසක් අපිත් එක්ක ඉන්නවා. කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී ඔවුන් අපි එක්ක ඉන්නෙ. ඒ අය එකතු වෙලා කරන බොහොම නිර්මාණශීලී වැඩ තමයි ඔබ දකින්නෙ.
06. ජාතික ජනබලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙලා, අවසානයේ ඔබ ධනවාදි කඳවුරක නතර වෙයි ද?
කිසිසේත්ම නෑ.අපේ භාවිතය තුළ අපි ඔබ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීලා තියෙනවා. තනතුරුවලට වඩා මට මගෙ හෘද සාක්ෂිය වැදගත්. අපි අපේ ප්‍රතිපත්ති විකුණන්නේ නෑ. අපි විකිණෙන මිනිස්සු නෙමෙයි. ඔබට ඒක ඉදිරියේ දී අපේ භාවිතාව එක්ක බලාගන්න පුලුවන්.
VIDEO