නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ලිපිය සැකසීමට රජයට අයත් පුවත්පතක ප්‍රධාන කර්තෘවරයෙක් සහභාගි වූ බව පුවත්පත් සාකච්ඡාවකදී අනාවරණය කිරීම, තර්ජනය කිරීමක් නොව සිදුවන්නේ කුමක්දැයි අවබෝධ කරගැනීමට මේ රටේ ජනතාව අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු කරුණක් පැහැදිලි කර දීමක් පමණක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළකළ වාර්තාව සම්පාදනය කළ මාධ්‍යවේදීන්ට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරු පිරිසක් තර්ජනය කළ බවට කෙරෙන චෝදනාවට පිළිතුරු දෙමින් ඔවුන් මේ බව සඳහන් කරයි.
‘චයිනා හාබර්’ සමාගම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ඡන්ද ව්‍යාපාරයට විශාල මුදලක් ලබාදුන් බවත්, එය ටී-ෂර්ට් හා ඡන්ද දායකයන්ට බෙදන නොයෙක් තෑගි බෝග මිලදී ගැනීමට වියදම් කළ බවට වූ චෝදනාව මුලින්ම පළ වූයේ මීට අවුරුදු තුනකට පෙර 2015 ජුලි 22 ආණ්ඩුවට අයත් පුවත්පතක වන අතර, එය නැවත වරක් ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත පුනරුච්චාරණය කර ඇති බවත් හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සිය නිවේදනයෙන් දක්වා සිටී.
එසේම නිව්යෝක් ටයිම්ස් ලිපිය සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා යොමුකළ පිළිතුරු ලිපිය ඔවුන් පළකොට නොමැති බවත්, මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ඉරිදා කළ පැහැදිලි කිරීමට සබැඳියක් පමණක් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ නවතම ලිපියේ පෙනෙන නොපෙනන ආකාරයට පළකර ඇති බවත් හෙතෙම චෝදනා කරයි.
ඇමෙරිකාවේ ඔබාමා - ක්ලින්ටන් ලිබරල් කඳවුරට මතවාදී වශයෙන් බැඳී සිටින හා ඇමෙරිකාවේ වත්මන් ජනාධිපතිවරයාටවත් සාධාරණයක් ඉටු නොකරන පුවත්පතකින් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයාට සාධාරණයක් බලාපොරොත්තු විය නොහැකි බවද හෙතෙම වැඩිදුරටත් මෙහිදී පැවසීය.
