අනුරාධපුර මාකට් පෙදෙසේ, මෛත්‍රීපාල සේනානායක මාවතේ පිහිටා තිබෙන ඉන්ධන පිරවුම්හලක ඊයේ (29 දා) පස්වරුවේ ඇතිවූ හදිසි ගිනි ගැනීමක් හේතුවෙන්, එම ඉන්ධන පිරවුම්හලට අයත් ප්‍රධාන ගොඩනැගිල්ලේ කොටසක් සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශයට පත්වූ බව අනුරාධපුර පොලීසිය පවසයි.
ඉන්ධන පිරවුම්හලේ ප්‍රධාන ගොඩනැගිල්ලේ එක් කොටසට පළිබෝධනාශක ඇතුළු රසායනික ද්‍රව්‍ය ගබඩා කර තිබූ අතර, ගින්නෙන් එම රසායනික ද්‍රව්‍ය ගබඩාව සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
ගින්න ඇතිවූ අවස්ථාවේදී ඉන්ධන පිරවුම්හලේ සේවකයින් හා නගරවාසීන් වහා එක්ව අනුරාධපුර මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය දැනුවත් කර, ගින්න නිවා දැමීමට දැඩි පරිශ්‍රමයක් දැරූහ. ඉන් අනතුරුව වහා එම ස්ථානයට පැමිණි ගිනි නිවීමේ ඒකකයේ සාමාජිකයින්, ගින්න ඉන්ධන පොම්ප හා ඉන්ධන ටැංකි වෙතට යා නොදී, නිවා දැමීමට සමත් වූහ.
මෙම ගිනි ගැනීම දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ සිටි අතර, යම් හෙයකින් භූගත ඉන්ධන ටැංකියට ගිනි ඇවිලී පුපුරා ගියේ නම් ජීවිත හානි රැසක් සිදුවී මහා විනාශයක් සිදු වීමට ඉඩ තිබූ බව ගිනි නිවීම් ඒකකය නිලධාරියෙක් මෙහිදී පැවසීය.
අනුරාධපුර මූලස්ථාන පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් පැමිණ ජනතාව ඉවත් කර එම මාර්ගය තාවකාලිකව වසා දමා ගින්න නිවා දැමීමට මෙහිදී සහාය වූහ.
මෙම ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවූ අතර අනුරාධපුර මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහාය සඳහා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ජල බවුසර් සහ 21 වන සේනාංකයේ හා 212 වන බල සේනා මූලස්ථානය භට පිරිස් පැමිණ සිටියහ.