ඉන්දියාව තවම අනුමැතිය පවා නොලැබුණු කොවිඩ්-19 මර්දන එන්නතක් සඳහා කළ පළමු වැනි ඇණවුම ලෙස Biological-E වෙතින් එන්නත් මිලියන 300ක් ලබාගැනීමට ගිවිසුම්ගත වී තිබේ.
කොරෝනා වසංගතය හමුවේ ඉන්දියාවේ 338,000කට ආසන්න මරණ වාර්තා කර ඇති පසුබිමක, එන්නත්කරණයේ මන්දගාමීත්වය සම්බන්ධයෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රජයට එල්ල වූ දැඩි විවේචනයත් සමග මෙම ගිවිසුම්ගත වීමද සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉන්දියාව මේ දක්වා මිලියන 950ක් වන වැඩිහිටි ජනගහනයෙන් 4.7%කට පමණක් එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත. ලෝකයේ දෙවැනි ජනාකීර්ණ රාජ්‍යය පසුගිය අප්‍රේල් සහ මැයි මාසවලදී පමණක් කොවිඩ්-19 ආශ්රිත මරණ 170,000ක් වාර්තා කළේ පුළුල් ආසාදන රැල්ලක් සමගිනි.
ඒ අනුව ඉන්දීය රජය එරට දේශීය සමාගමක් වූ Biological-E වෙතින් එන්නත් මාත්‍රා මිලියන 300 මිලදී ගැනීම සඳහා ඇ.ඩො.මිලියන 205.6ක අත්තිකාරමක් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
"Biological-E සමග ඇතිකරගත් ගිවිසුම, දේශීය එන්නත් නිෂ්පාදකයින්ට පර්යේෂණ හා සංවර්ධන සහ මූල්‍යමය ආධාර ලබාදීමෙන් ඔවුන් දිරිගැන්වීම සඳහා ඉන්දියානු රජයේ පුළුල් ප්රයත්නයේ කොටසක්" යැයි අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණි.
ඉන්දියාවේ සේරම් ආයතනයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙන්ම දේශීය සමාගමක් වන භාරත් බයෝටෙක් විසින් නිපදවන ලද කොවැක්සින්ද ඉන්දියාව විසින් එන්නත් කර ඇති අතර, ජුනි මස මැද භාගයේදී රුසියාවේ ස්පුට්නික්-වී දියත් කිරීමට සූදානම් වෙයි.
නමුදු රජය පසුගිය මාසයේ සියලුම වැඩිහිටියන්ට එන්නත් ලබාගන්නා ලෙස කියා සිටියත්, සමහර එන්නත් මධ්‍යස්ථාන වසා දැමීමට පවා සිදුවූයේ එන්නත් නොමැති බැවිනි. මේ තත්ත්වය එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙතද ගිය අතර, එහිදී එන්නත් හිඟය අධිකරණය හමුවේ දැඩි විවේචනයට ලක්විය.
ඉන්දීය මධ්‍යම රජය වයෝවෘද්ධ හා ඉදිරිපෙළ සේවකයින්ට නොමිලේ එන්නත් ලබා දුන් අතර, වයස අවුරුදු 18-45 අතර පුද්ගලයන්ට මාත්‍රාවකට මිලක් නියම කරමින් එන්නත ලබාදීමට ප්‍රාන්ත රජයන්ට සහ පෞද්ගලික රෝහල් වෙත පවරනු ලැබීය. කෙසේ වෙතත් ඉන්දියානු මධ්‍යම රජයේ මෙම ප්රයන්තයන් අත්තනෝමතික සහ අථාර්කික ක්‍රියාවක් බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.
රටේ ආසාදන හා මරණ සංඛ්‍යාවේ යම් පහළ යෑමක් තිබුණද, ආර්ථික වශයෙන් හානිකර දීර්ඝ අගුලු දැමීම ලිහිල් කිරීමට නම් අඩුම තරමින් එන්නත්කරණයවත් සාර්ථක විය යුතුය. පසුගිය පැය 24 තුළ ඉන්දියාව විසින් නව ආසාදන 134,154 ක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එය මැයි 7දා වාර්තා වූ 414,188ක උපරිමයට වඩා 65% කට වඩා අඩුවී තිබේ. වසංගතය ආරම්භයේ සිට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදන සංඛ්‍යාව මිලියන 28.4ක් වන අතර එය දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි.
ඉන්දියාව ගෙවුණු දිනයේ මරණ 2,887ක් එක් කළ අතර, එක්සත් ජනපදයේ සහ බ්‍රසීලයෙන් පසු ලෝකයේ තුන්වැනි වැඩිම මරණ සංඛ්‍යාව ලෙස දැනටමත් කොවිඩ්-19 මරණ 337,989ක් වාර්තා කර ඇත.
මේ තත්ත්වය තුළ නවදිල්ලියේ මහාධිකරණය පවසා තිබුණේ එන්නත් කිරීම නතර කිරීම සම්බන්ධයෙන් මධ්‍යම රජයේ ඇතැම් නිලධාරීන්ට මිනීමැරුම් චෝදනා එල්ල කළ යුතු බවය.
"මේ රජය අසමත්. ඒ තුළ ජනතාවත් අවාසනාවන්ත ලෙස අසමත්." කොංග්‍රසයේ හිටපු නිලධාරියෙකු වූ සන්ජෙයි ජා කියා සිටියේය.