එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සමග අත්වැල් බැඳ ගනිමින්, 2021 ලෝක පරිසර දිනය සැමරීමට කටයුතු කර ඇති පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, අනාගත පරපුර වෙනුවෙන් එරට පරිසර පද්ධති සංරක්ෂණය හා ප්‍රතිෂ්ඨාපනය සඳහා පෙරමුණ ගෙන ක්‍රියාකිරීම ආරම්භ කර ඇත්තේ ආදර්ශමත් හා දූරදර්ශී නායකයෙකු ලෙසිනි.
මෙම විවරණයේදී ඉම්රාන් ඛාන් වැඩිදුරටත් අදහස් දක්වා ඇත්තේ මෙලෙසිනි.
"පාකිස්තානයේ හදවත බඳු වූ ලාහෝර් හි හැදී වැඩුණු අයෙක් ලෙස උද්‍යාන නගරයක ජීවත්වීම ගැන මම ආඩම්බර වෙනවා. ඓතිහාසික මෝගල් යුගයේ ෂලිමාර් උද්‍යාන හරහා ගමන් කරන්නට, බැග්-ඊ-ජින්නාහි සාමකාමී බව අත්විඳින්නට, හසුරි බාග්හි නතර වී පන්ජාබි ජනප්‍රවාද කියවන කතන්දරකරුවෙකුට සවන් දීමට යමෙකුට හැකි වුණා නම් එය ආශ්චර්යයක්. වෘක්ෂ ලතාවන්ගෙන් වට වූ සුන්දර ක්‍රිකට් ක්‍රීඩාංගණවල සිට ක්‍රීඩාවට අත්පොත් තැබීමට තරම් එදා මම භාග්‍යවන්ත වුණා.
අදද මේ කියන ස්ථාන පවතිනවා. නමුත් එදා තිබූ ලාහෝරය අද දකින්න නැහැ. මෝටර් රථ සහ කොන්ක්‍රීට් ගොඩනැගිලි නගරය පුරා විසිරී තිබූ අඹ සහ සෙසු වෘක්ෂයන් වෙනුවට ආදේශ වී තිබෙනවා. මීට පෙර පිරිසිදු ඇළ මාර්ග අද ගණන් කළ නොහැකි තනි භාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් කැළැල් වෙලා.
ජනාකීර්ණ හා දූෂිත නාගරික අවකාශයන් අසුන්දර බව පමණක් නොවෙයි, ප්ලාස්ටික් දූෂණය ජල මූලාශ්‍රවලට විනිවිද යාමත්, විෂ සහිත සිහින් සල්ෆර් අංශු වාතයේ ගලා යාමත් සමග බරපතළ සෞඛ්‍ය හා ආර්ථික අවදානම්ද ඇතිකර තිබෙනවා. නගරවල වෘක්ෂලතා අහිමි කර ගැනීමෙන්, දැන් දැන් නගර කොන්ක්‍රීට් වනාන්තරම පමණයි. එනම් ගංවතුර අවදානම් හා ස්වභාවික ව්‍යසනයන් පාකිස්තානයටද අත්විඳින්නට සිදුවෙලා වෙනස්වන දේශගුණයක ප්‍රතිඵලයක් ලෙස මිනිසුන්ට නොකියාම ජීවිත හානි වැනි දුක් වේදනා, දේපළ අහිමි වීම සහ යටිතල පහසුකම් හානිවීම් ගලා එනවා.
කනගාටුවට කරුණ නම් මෙය නගරයද ඉක්මවා ගම කරාත් යෑමයි. දේශගුණික විපර්යාසයන්ගෙන් වඩාත් තර්ජනයට ලක්ව ඇති රටක් බවට පත්ව ඇත්තේ සමස්ත පාකිස්තානයයි. මානව ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස එහි සියලු පරිසර පද්ධතීන් පිරිහීමට ලක්වීම ගැන අප දෙවරක් සිතා බැලිය යුතුයි.
පාකිස්තානයට සත්‍ය දේ ලෝකයටත් සත්‍යයක්. ගෝලීය ගොවිබිම්වලින් තුනෙන් එකක් අද ශීඝ්‍රයෙන් පරිහානියට පත්වෙලා. ඉන් අඩක්ම පළිබෝධනාශක හා පොහොර අනිසි ලෙස භාවිත කිරීම සහ ඒකීය භෝග වගාවන්ට යොමුවීම හේතුවෙන් සිදුවෙලා. පාකිස්තානයේ සහ පෘථිවිය පුරා භයානක අනුපාතයකින් වනාන්තර අතුරුදන් වී යනවා. මිරිදිය ප්‍රභවයන්, සාගර, කඳු, තෘණ බිම් සහ සැවානා සහ වගුරු බිම් පිරිහීම නිසා ගෝලීය ආර්ථික සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව සහ සාමයද ඒ හා සමානව පිරිහී තිබෙනවා."
පරිසර පද්ධති ප්රතිස්ඨාපනය පිළිබඳ දශකය
"ඓතිහාසිකව, අප පාරිසරික ගැටලු සඳහා එක් විසඳුමක් වෙත යොමු වී සිටිනවා. එනම් අපගේ ඉතිරිව ඇති ස්වාභාවික වස්තූන් ආරක්ෂා කිරීමයි. ඒ අනුව පාකිස්තානයේ වැඩිවෙමින් පවතින සංරක්ෂිත වනාන්තර ගණන ඉහළ යෑම නිසා හිම දිවියන්, වෘකයන්, සර්පයන්, උරගයන්, දුර්ලභ සින්ද් වනාන්තර එළුවන් සහ මාකෝ පෝලෝ බැටළුවන් ආදී වශයෙන් ක්ෂීරපායින් 177ක් සහ පක්ෂි විශේෂ 660ක් ආරක්ෂා වෙනවා. අප නොමඟ ගොස් නැහැ. සොබාදහම සමග සාමය ඇති කිරීම සඳහා එවැනි සංරක්ෂණ ආයෝජන තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා.
එවැනි ආයෝජන ශාක හා සත්ත්ව ප්‍රජාව අපට ඉතිරි කරනවා පමණක් නොවෙයි, සාමාන්‍ය ජනතාවට වැඩි වැඩියෙන් ප්රතිලාභ ලබා දෙනවා. සංරක්ෂිත වනාන්තර ප්‍රදේශ මුල පිරීම තුළ අප පාකිස්තානය පුරා ආදර්ශ ප්‍රදේශ 15ක් සංවර්ධනය කිරීම සඳහා දියත් කර තිබෙනවා. වර්ග සැතපුම් 2,818කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් සංරක්ෂණය කරනවා පමණක් නොවෙයි, හරිත රැකියා 5,500කට වැඩි ප්‍රමාණයක් ජනනය කර තිබෙනවා.
එහෙත්, මේ වනවිට සොබාදහමට එරෙහි මානව වර්ගයාගේ යුද්ධය සංරක්ෂණය පමණක් ප්‍රමාණවත් නොවන බව අප හඳුනාගත යුතුයි. දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්ව හානිය වැනි අභියෝගයන්ට මුහුණ දීමට අපට අවස්ථාවක් තිබේ නම්, බිඳී ඇති දේද අප විසින් අලුත්වැඩියා කළ යුතුයි. ඒවා නැවත ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි.
2021 - 2030 ලෝක පරිසර දිනය සඳහා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සමග පාකිස්තානය ගෞරවයට පාත්‍ර වන්නේ ඒ නිසයි. මේ වසරේදී පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ දශකය 2021 - 2030 දියත් කිරීම සඳහා අප බැඳී සිටිනවා. අප සේවය කරනවා.
ඒ අනුව බිලියන 10ක් ගස් සිටුවීමේ ඉලක්කයේ කොටසක් ලෙස දැනටමත් ගස් හා කඩොලාන බිලියනයක් රෝපණය කරමින් පාකිස්තාන රජය වනාන්තර පුළුල් කිරීමට හා ප්‍රතිෂ්ඨාපනය කිරීමට ලෝකයේ වඩාත්ම අභිලාෂකාමී උත්සාහයන් මධ්‍යයේ කටයුතු කරමින් සිටිනවා.
තවද, පසුගිය දශකය තුළ පාකිස්තානයේ කඩොලාන ආවරණය 300%කින් ඉහළ ගොස් ඇති අතර, එවැනි වර්ධනීය කඩොලාන ආවරණයක් සහිත ලොව එකම රට බවට පත්ව සිටිනවා. 2020 බොන් අභියෝගයෙහි පළමු වැනි අදියරේදී පාකිස්තානය කයිබර් පක්තුන්ක්වා පළාතේ අක්කර 865,000ක පරිහානියට පත් භූ දර්ශන යථාතත්ත්වයට පත් කිරීමට පොරොන්දු වූවා. එම ඉලක්කය දැනටමත් ඉක්මවා තිබෙනවා. 2023 වනවිට රට පුරා අක්කර මිලියන 2.5කට ආසන්න පරිහානියට පත් සහ වනාන්තර විනාශ වූ ඉඩම් යථාතත්ත්වයට පත් කිරීම සඳහා බොන් අභියෝගය යටතේ වඩා විශාල ජාතික ඉලක්කයක් වෙනුවෙන් අප දැන් ස්වේච්ඡාවෙන් ප්‍රතිඥා දී කටයුතු කරනවා.
මෙහිදී ද සමාජ හා පාරිසරික යුක්තිය අත්වැල් බැඳ ගත යුතුයි. අපගේ පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපන ව්‍යාපාරය අපගේ දුප්පත්ම පුරවැසියන්ට ආදායමක් ලබාදීමද විශේෂත්වයක් ගන්නවා. සොබාදහම කේන්ද්‍ර කරගත් හරිත උත්තේජනය දැනටමත් වසංගතය තුළ සොබාදහමේ රැකියා 85,000කට අධික ප්‍රමාණයක් ජනනය කර ඇති අතර, 2021 අවසන් වනවිට තවත් 100,000ක් අපේක්ෂා කරනවා.
එහිදී අවශ්‍ය පරිමාණයෙන් පරිසර පද්ධති ප්‍රතිෂ්ඨාපනය ලබා ගැනීම සඳහා රජයන් සහ මූල්‍ය ආයතන යන දෙකම නව්‍යකරණයෙන් යුතුව කටයුතු කළ යුතුයි. ඇත්ත වශයෙන්ම, පාකිස්තානය මේ වනවිට ජාත්‍යන්තර ණය හිමියන් සමග ස්වභාව ධර්මය සඳහා වන හුවමාරු ගනුදෙනුවක් සඳහා කටයුතු කරමින් සිටිනවා. එමගින් ජෛව විවිධත්ව සංරක්ෂණයේ ජයග්‍රහණ සමග සහන සම්බන්ධ වෙනවා. මෑතකදී පාකිස්තානයේ ප්‍රථම හරිත බැඳුම්කරය ඩොලර් මිලියන 500ක් වූ අතර, එය ගෝලීය වෙළෙඳ පොළ තුළ හොඳ පිළිගැනීමක් ලැබුවා.
අප පරම්පරා ගණනාවක් පුරා පෘථිවියේ ස්වාභාවික සම්පත් විනාශ කරමින් සිටියා. නමුත් සුභාරංචිය නම් සොබාදහම අලුත් කිරීම සඳහා අසාමාන්‍ය ධාරිතාවක් ඇති බවයි. අනාගත පරම්පරාවන්ට අප කුඩා කාලයේදී මෙන් ලාහෝර් උද්‍යානවල සුන්දරත්වය ප්රමෝදයට පත්කළ හැකියි. ඒ වගේම ඔවුන්ගේ සෞඛ්‍යය, සමෘද්ධිය සහ සාමය උදෙසා, සමස්තය සංරක්ෂණය කිරීමට හා විනාශ වී ගිය දේ යථා තත්ත්වයට පත් කිරීමට අප ඉදිරි වසරවල් කැප කළ යුතුයි." පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වැඩිදුරටත් අවධාරණය කළේය.