මේ වනවිට අධිවේගී මාර්ගවල ධාවනය වන අධිසුඛෝපභෝගී බස් රථවල ගමන් ගන්නා මගීන්ගෙන් අය කරන ගාස්තුව ඔවුන්ට දරාගත නොහැකි තරමට ඉහළ බවට මගීන් විසින් තමන්ට පැමිණිලි කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
පසුගියදා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී මේ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍යවරයා අධිසුඛෝපභෝගි බස් රථවල අය කරන ගාස්තු එතරම් ඉහළ මට්ටමක පැවැතීම සාධාරණද? යන්න පිළිබඳව සොයා බලා මගීන්ට කිසියම් සහනයක් ලබා දීමට හැකියාවක් ඇද්ද යන්න පිලිබඳ සොයා බලා ඊට අදාල නිර්දේශ තමන්ට ලබා දෙන ලෙස ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දුන්නේය.
නමුත් තමන් පිළිගන්නා කාරණය නම් දැනට පවතින ඉහළ ගාස්තු අය නොකළත් එම බස් රථවලට පාඩුවක් සිදු නොවන බව කී අමාත්‍යවරයා අධිවේගී මාර්ගයේ ගමන් කළද, මගීන් ගසා කෑමට රජය වශයෙන් ඉඩ දිය නොහැකි බවයි.
එමෙන්ම දැනට සාමාන්‍ය බස් රථවලට මගී ජනතාවගේ වැඩි ඉල්ලුමක් පවතින්නේ වායුසමනය කරන ලද බස් රථවලට බව පෙනී ගොස් තිබේ. එම නිසා ප්‍රධාන නගර අතර පමණක් නොව සාමාන්‍ය පරිදි මගී ප්‍රවාහනය සඳහා වායු සමනය කරන ලද බස් රථ යෙදවීමට ඇති හැකියාව පිළිබඳවත් , අය කළ යුතු ගාස්තු සම්බන්ධව , මගී ජනතාවගේ ද අදහස් විමසා වායුසමනය කරන ලද බස් රථ වැඩිපුර මගී ප්‍රවාහනයේ දී යෙදවීමට පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබා දුන්නේය.
රජයේ ඉලක්කය වන්නේ ගුණාත්මකබවින් ඉහළ පොදු ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීමයි. විශේෂයෙන් මාර්ගවල පවතින තදබදය අවම කිරීමට එක් විසඳුමක් වන්නේ පොදු ප්‍රවාහන සේවා නැංවීම බැවින් ඒ සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි ද අමාත්‍යවරයා කීය.
