අධිවේගී මාර්ග දෙපස වාහන නවතා තබන රියදුන්ට එරෙහිව ක්රියාමාර්ග ගන්නා බව අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු ඒකකය සඳහන් කරයි.
මේ පිළිබඳව සොයා බැලීමට පොලිස් මුර සංචාරක කටයුතු වැඩිකර තිබෙන බවත්, මීට අමතරව ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යොදවා තිබෙන බවත් එම ඒකකයේ අධ්යක්ෂක එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
ඇතුළුවීමේ දොරටුවෙන් ලබාදෙන ටිකට්පතට අදාළ මුදල පිටවීමේ දොරටුව ආසන්නයට පැමිණෙන විට සූදානම් කරගෙන පැමිණියහොත් තත්තපර 10න් පිටවී යාහැකි ආකාරයට තාක්ෂණය දියුණුකර තිබෙන බවද හෙතෙම මෙහිදී පවසා සිටියේය. මේ අනුව සෑම පිටවීමේ දොරටුවකටම ස්වයංක්රීයව ක්රියාත්මක වන මාර්ග බාධක සවි කර තිබෙන බවද ඒ මහතා කියා සිටියේය.