බදුල්ල ෆාතිමා කාන්තා විද්‍යාලයට අධීක්ෂණ රාජකාරි සඳහා පැමිණ ඇති අධ්‍යාපන නිලධාරීන් පිරිසක් එම විදුහලේ විදුහල්පතිනියගේ කාර්යාල කාමරයේ තිබූ පෞද්ගලික හා අභ්‍යන්තර ලිපිගොනු කීපයක් අනවසරයෙන් රැගෙන ගොස් ඇති බවට එම පාසලේ විදුහල්පතිනිය විසින් පළාතේ අධ්‍යාපන බලධාරීන් වෙතද පිටපත් සහිතව ඌව පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිඛිතව පැමිණිළි කොට තිබේ.
බදුල්ල අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්යක්ෂවරියක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් (13)දා එම විද්‍යාලයේ අධීක්ෂණ කටයුත්තක් සඳහා පැමිණි අතර පසුව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සමාලෝචන රැස්වීමකට කැඳවූ බවත් ඒ අතර යම් නිලධාරියෙක් සහකාර අධ්‍යක්ෂවරියකගේ අනුදැනුම මත විදුහල්පති කාර්යාලයට ඇතුළු වී තමාගේ අනුදැනුමකින් තොරව අදාළ ලිපිගොනු රැගෙන ගොස් ඇති බවත් එම විද්‍යාලයේ විදුහල්පතිනිය සිය ලිපියෙහි සඳහන් කොට ඇත.
සිද්ධිය වූ දිනට පසුදින (14) අදාළ ලිපිගොනු අස්ථානගත වී ඇති බව දැනගෙන ඇති විදුහල්පතිනිය ඒ පිළිබඳව පෙරදින කාර්යාලයේ සේවය කළ අනධ්‍යයන සේවකයෙකුගෙන් විමසා ඇති අතර පෙරදින (13) අධ්‍යාපන කලාපයේ නිලධාරියෙකු කාර්යාලයට පැමිණ මැඩම් ගේන්න කීවායැයි පවසා ලිපිගොනු රැගෙන ගිය බව ඔහු පවසා තිබේ.
ඒ අනුව විදුහල්පතිනිය ඒ පිළිබඳව බදුල්ල කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා දැනුවත් කර ඒ සම්බන්ධයෙන් පාසල් සංවර්ධන සමිතියද කැඳවා දැනුවත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකර නිසි පියවර ගතයුතු බව පාසල් සංවර්ධන සමිතියද අවධාරණය කොට ඇති බැවින් ඒ අනුව විදුහල්පතිනිය විසින් ඒ පිළිබඳව ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතාටද ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරිය වෙත සහ පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා වෙතද පැමිණිළි කර ඇති බව වාර්තාවේ.