අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ පාකිස්තානයේ මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක් මහතා අතර විශේෂ හමුවක් පැවැත්විණි.
මෙහිදී අධ්‍යාපන ක්ෂේත්රයේ අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳව පොදු උනන්දුවක් දක්වන මාතෘකා කිහිපයක් සාකච්ඡාවට බඳුන් විය.
උසස් හා කාර්මික අධ්‍යාපනයේ විවිධ ක්ෂේත්රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත්ව පවත්වා ගතයුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයා සහ මහකොමසාරිස්වරයා එකඟ වූහ.
පසුගිය මහමැතිවරණයෙන් 2/3ක විශිෂ්ට ජනවරමක් සහිතව ජයග්‍රහණය කිරීමට හැකිවීම පිළිබඳ වර්තමාන ජනාධිපතිතුමන් ප්රමුඛ ශ්‍රී ලංකා රජයට සුබපැතුම් එක් කළ මහකොමසාරිස්වරයා, නව රජය යටතේ ජනතා අපේක්ෂා ඉටුවනු ඇතැ’යි තමා විශ්වාස කරන බව ද සඳහන් කළේය.
පකිස්තානයත් ශ්‍රී ලංකාවත් අතර දිගුකලක් පුරා පවත්නා සමීප සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඉදිරියේදී පියවර රැසක් ක්‍රියාවට නංවන බවද මහකොමසාරිස්වරයා පැවසීය.
මෙරට ප්‍රථම වතාවට පකිස්තාන් ආදි විද්‍යාර්ථීන්ගේ දිනය එළඹෙන ඔක්තෝබර් මස 07 වැනි දින කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්විමට කටයුතු යොදා ඇති අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාට ඇරයුම් කරන ලද බව ද මෙහි දී සිහිපත් කළේය.
ඉදිරි වසර පහ ඇතුළත ශ්‍රී ලංකා පකිස්තානු පදනම යටතේ මෙරට සිසුන් වෙනුවෙන් උසස් අධ්‍යාපනය සඳහා අමතර ශිෂ්‍යත්ව 1000ක් පිහිටුවීමට ද මෙහිදී එකඟතාව පළ කෙරිණි.
පකිස්තාන සිසුන් තුළ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට කටයුතු යොදන බව ද, කොවිඩ් තත්ත්වයෙන් පසු මෙරට සංචාරක ව්‍යාපාරය නැවත යථාතත්ත්වයට පත්කිරීම සඳහා ජනාධිපතිතුමන්ගේ සහ අගමැතිතුමන්ගේ ප්රමුඛ අවධානය යොමුව ඇති බැවින් විශේෂයෙන් ආසියානු කලාපයේ රටවල් අතර ඒ සඳහා මනා සහයෝගිතාවක් ගොඩනැංවීමට පියවර ගත යුතු බව ද මෙහි දී සාකච්ඡා විය.