යුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා උතුරේ ආරම්භ කරන සත්යග්රහයන්ගෙන් වවුනියාවේ සත්‍යග්‍රහයට දින දහසක් ගෙවිම පසුගියදා සිදුවුණද එතෙක් තමන්ට විසඳුමක් නොලැබිමෙන් විසඳුමක් ලැබෙන දිනය කවදාද යන්න පිළිබඳව එම වැසියන් දැඩි අසරණතාවයකට පත්ව සිටිති.
වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපිටත් කිලිනෝච්චිය කන්දසාමී කෝවිල ඉදිරිපිට හා මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයන් ඉදිරිපිටදි අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විසඳුම් ඉල්ලා සත්යග්රහයන් ආරම්භ කොට ඇත.
ගෙවුණු දින දහසක කාලය තුළදී පැවති රජයන්හි නායකයින්ට මෙන්ම දෙමළ දේශපාලන නායකයින්ට අවස්ථා ගණනාවකදීම අතුරුදහන් වූවන්ගේ ගැටලු වෙනුවෙන් විසඳුම් ඉල්ලා සිටියදී එම සෑම අවස්ථාවකදීම සියලු දෙනා අවස්ථාවෙන් බේරීමට පමණක් ක්‍රියා කලද ස්ථීර විසඳුමක් නොලැබීමෙන් තම ජනතාව දිනෙන් දින රැවටිම හා අසරණභාවයට පත්වීම හැරෙන්නට මෙතෙක් ලැබුණු සාධාරණයක් නොමැති බවට උතුරේ අතුරුදහන් වූවනේගේ පවුල් එකමුතුව පවසා සිටිති.
ජාත්‍යන්තරය හෝ මැදිහත් වී යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් සාධාරණත්වයක් ඉටුකිරීමට මැදිහත් විය යුතු බවටත් යුද අපරාධයන් සිදු කරන ලද පාර්ශවයන්ට එරෙහිව ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කොට තම දූදරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටුකර දිය යුතු බවටද අතුරුදහන් වූවන්ගේ ඥාතීන් එකමුතුව පෙන්වා දෙති.
එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායකයින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් අමතක කොට සිටින බවටත් එම නායකයින් කෙරෙහි විශ්වාසයක් තැබීමට මේ වන විට නොහැකි බැවින් තමන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ පිහිට වි විසඳුමක් ලබා ගැනීමට සහාය වන්නැයිද අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පවසා සිටිති.
අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින දහසක් ගෙවුනද විසඳුමක් නොලැබීමෙන් තම සටන ඉදිරියටත් සිදු කරගෙන යාමට බලාපොරොත්තුවන අතර සත්‍යග්‍රහයට දින 2000 ඉක්මවීමට පෙර විසඳුමක් ලැබෙනු ඇතැයිද අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පවසන අතර මෙරට පත්වුණු නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ තම ගැටලුව වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබා දෙනු ඇතැයිද තමන් විශ්වාස කරන බවටද උතුරේ අතුරුදහන් වූවන් වැඩිදුරටත් පවසති.

