ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයට සැතපුම් 62 ක් පමණ ඔබ්බෙන් පිහිටි සාගර කලාපය වෙත අද පෙරවරු 11.59ට පමණ කඩා වැටීමට නියමිතව තිබූ WT1190F ආකාශ වස්තුව, එම මොහොතේදී හෝ ඊට ආසන්න මොහොතකදී පෘථිවි වායුගෝලයට ඇතුළු වී සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී ගිය බව ජාත්‍යන්තර අභ්‍යවකාශ නිරීක්ෂක මධ්‍යස්ථාන ඇතුළුව ඒ පිළිබඳව විශේෂඥයෝ පවසති.
ඒ අනුව මෙම WT1190F ආකාශ වස්තුව නිසා ගොඩබිම සිටින කිසිවෙකුටවත් කිසිදු හානියක් සිදු නොවූ බවද මෙරට වාර්තා සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම ආකාශ වස්තු කඩා වැටීම නිරීක්ෂණය සඳහා නාසා ආයතනයට සම්බන්ධ නිරීක්ෂක ආයතන සහ දුරේක්ෂ ඇතුළුව විදේශීය අභ්‍යවකාශ නිරීක්ෂකයෝ මෙන්ම ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය, ග්‍රහලෝකාගාරය මෙන්ම ඒ පිළිබඳව උනන්දුව දක්වන තවත් ආයතන සහ පුද්ගලයන්ද මහත් යුහුසුළුව සිටි බව දැකගත හැකිවිය.
විශේෂයෙන්ම ආකාශ වස්තුවක් පෘථිවිය හා ගැටෙන අවස්ථාවක් ඊට පෙරාතුව සඳහන් කළ පළමු අවස්ථාව මෙය වීමත් සමගින්ම මේ සඳහා වන උනන්දුව ඉහළ ගොස් තිබුණි. එහෙත් එම බලාපොරොත්තු සියල්ලම සුන් කරමින් අඩි 07 ක් පමණ දිග, නාසා ආයතනයට සම්බන්ධ ඇපොලෝ මෙහෙයුමට අයත් රොකට්ටුවක කොටසක් ලෙස සැලකෙන මෙම WT1190F ආකාශ වස්තුව පෘථිවි වායුගෝලයේදී මෙසේ විනාශ වී ගිය බව විශ්වාස කෙරේ.
මේ අතරම ඇතැම් පිරිස් WT1190F ආකාශ වස්තුව පෘථිවි වායුගෝලයේදී විනාශ වූ බව දුටු බවට විවිධ අදහස් පළ කළද එය ස්ථිර කළ හැකි කිසිදු සාක්ෂියක්ද මේ දක්වාම ඉදිරිපත්ව නොතිබුණි.
භානුක අමරසිංහ