පසුගිය දින කිහිපයේ රටේ ඇතැම් ප්රදේශවල පැවති කළහකාරී තත්ත්වය සම්පූර්ණයෙන් මැඩපවත්වා මේ වනවිට රට තුළ සාමකාමී වාතාවරණයක් තහවුරු කර තිබෙන බව ජනපති විදෙස් තානාපතිවරු හමුවේ අවධාරණය කළේය.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳව විදෙස් තානාපතිවරුන් දැනුවත් කිරීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී කැඳවා තිබූ හමුවේදී මේ බව සඳහන් කළේය.
මහනුවර දිස්ත්රික්කයේ ඇතැම් ප්රදේශවල පැවති කළහකාරී තත්ත්වයන් නිර්මාණය කිරීමට මුල්වූ සහ ක්රියාත්මක වූ පිරිස් අත්අඩංගුවට ගෙන උපරිම දඬුවම්දීමට කටයුතු කරන ලෙසට තමා පොලීසිය ඇතුළු අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙන බව ද ජනාධිපති සඳහන් කළේය.
පසුගිය වසර ගණනාවක් පුරා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාර පැවැත්වෙන මාර්තු සහ සැප්තැම්බර් මාසවල දී රට තුළ විවිධ කළහකාරී සිදුවීම් ඇතිකිරීමට විවිධ කණ්ඩායම් කටයුතු කරන බව නිරීක්ෂණය වී ඇති බව ද ඔහු අවධාරණය කළේය.
