පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රකාශයට තමන්ගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන බවත් අදාළ ප්‍රකාශය පෞද්ගලික ප්‍රකාශයක් නිසාවෙන් එය ශ්‍රී ලංකා පොලීසියේ මතය නොවන බවත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසා සිටියේය.
පොලිස්පතිවරයා මේ බව පැවැසුවේ, ඊයේ (19 දා) වවුනියාව කැලෑබෝගස්වැව ප්‍රදේශයේ වැසියන් වෙනුවෙන් ඉදිකළ පානීය ජල පිරිපහදු කිරීමේ ස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
“මාධ්‍යට දඬුවම් දීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශයක් කොට ඇත්නම් අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා. පොලිස්පතිවරයා හැටියට මා සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා මේ පිළිබඳ වැරදි අවබෝධයක් ඇති නොකරගන්නා ලෙස. ඒ පිළිබඳ සොයාබලා විනයානුකූල පියවර ගැනීමට අවශ්‍යනම් ඒ සම්බන්ධයෙන්ද කටයුතු සිදුකරනවා.
මම ඇහුවා නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් මොකද්ද මේ කතාව කියා. පසුව කවුද ඔයාට බලතල දුන්නේ කියා ඇසුවා. පොලිස්පතිවරයා වශයෙන් මම එවැනි දේවල් ප්‍රකාශ කරන්න කිසි කෙනෙකුට බලතල දීලා නැහැ. දුන්නානම් බලතල දුන්නේ විශේෂ කමිටුවකට. පොලීසියේ මතය අප ජනමාධ්‍ය ආරක්ෂා කළ යුතු බවයි.
ඔහු එසේ පවසා ඇත්නම් ඒ පිළිබඳ නිවැරදි කිරීමක් කළයුතුයි. ඒ පිළිබඳ ලොකු අපහසුවක් තිබෙනවා. එය කිවයුතු කතාවක් නොවෙයි. පොලීසිය සිදුකරන මෙහෙවර වගේ ජනමාධ්‍ය කරන්නේ මෙහෙවරක්. නිවැරදි තොරතුර ඇසීම බැලීමට මහජනතාවට සැලැස්වීම තමයි ජනමාධ්‍ය කියා පවසන්නේ. එය ජාතික සේවයක්. එම ජාතික සේවයට කොයි මෙහොතේවත් හිරිහැරයක් හෝ අභියෝගයක් සිදුවන්නේ නැහැ.” යැයි පොලිස්පතිවරයා එහිදී පවසා සිටියේය.