ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරියේදී යම් කරුණක් සම්බන්ධව ඒකමතික තීන්දුවක් ගැනීමට නොහැකි වනු ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා පැවසීය.
මධ්‍යම කාරක සභාව තුළ කණ්ඩායම් දෙකක් නිර්මාණය වී තිබෙන බැවින් වැදගත් කරුණක් සම්බන්ධව සාකච්ඡා කරන අවස්ථාවකදී බහුතරයේ තීන්දුව පමණක් ගැනීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
යහපාලන රජයට සම්බන්ධ වීමටත්, එහි ඇමති ධුර ලබාගැනීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙර තීරණයක් ගත්තද යහපාලන රජයෙන් හා ඇමති ධුරවලින් ඉවත්වීමට පක්ෂය තීරණයක් නොගත් බවත්, විශ්වාසභංගයට පක්ෂ වූ ඇමතිවරුන් 16 දෙනා ඇමති ධුරවලින් ඉවත්වුවද මධ්‍යම කාරක සභාවේ සංයුතියට බලපෑමක් එල්ල නොවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
එම ඇමතිවරුන් යහපාලන ආණ්ඩුවෙන් ඉවත්වීම නිසා පුරප්පාඩු වන අමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර දරන මන්ත්‍රීවරුන් පත්කරන බවට මේ දක්වා තීරණයක් ගෙන නැති බවත්, එවැනි දැනුම්දීමක් තමන්ට දැනගන්නට ලැබී නැති බවත් පියසේන ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.