ඉදිරි පළාත් පාලන මැතිවරණ්යට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවට සහභාගී වන ලෙස දන්වා ඒකාබද්ධ විපක්ෂයේ ශ්රී ල.නි.ප මන්ත්රීවරුන්ට හා ආසන සංවිධායකයන්ට ලිපියක් යැවීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දරය ඉකුත් බ්රහස්පතින්දා (12දා) දින රාත්රි‘යේ පැවැති ආණ්ඩුවේ ශ්රී ල.නි.ප මැති ඇමැතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
එම ලිපිය ඉකුත් සිකුරාදා වනවිට සකස් කරමින් තිබූ අතර, එය මේ සතියේදී ඒකාබද්ධ විපක්ෂයේ ශ්රී ල.නි.ප මන්ත්රීවරුන් ඇතුළු පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට හා ආසන සංවිධායකයන්ට ලියාපදිංචි තැපෑලෙන් යැවීමට පක්ෂයේ තීරණය කර ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණය එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීමට පක්ෂය සූදානම් බැවින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන්ටද පක්ෂය සමග එක්ව කටයුතු කිරීමට සූදානම් වන ලෙස දන්වමින් මෙම ලිපිය යැවෙනු ඇතැයි දැනගන්නට තිබේ.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්රී ල.නි.ප මන්ත්රීවරුන්ට අමතරව, ආණ්ඩුවේ සිටින ශ්රී ල.නි.ප මැති ඇමැතිවරුන්ට හා ආසන සංවිධායකයන්ටද මෙම ලිපිය ලියාපදිංචි තැපෑලෙන් යැවීමට නියමිත ඇත. පළාත් පාලන මැතිවරණයට සන්ධානයෙන් තරග කිරීම සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේද හා පක්ෂය සමග ඉදිරියට කටයුතු කිරීමට සූදානම්ද යන්න මෙමගින් විමසීමක් කෙරෙනු ඇතැයි වාර්තාවේ.
එම විශේෂ සාකච්ඡාව ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් ඉතා නුදුරේදීම පැවැත්වෙනු ඇතැයි වාර්තාවේ. මේ අතර ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු හා දැනට සිටින පක්ෂ සමග විශේෂ සාකච්ඡාවක්ද ලබන සතියේ පැවැත්වීමට නියමිතව ඇතැයි ශ්රී ල.නි.ප ආරංචි මාර්ග සඳහන් කරයි.
අජන්ත කුමාර අඟලකඩ (ඉරිදා ලංකාදීප)