ඉන්දියාවට දකුණින් වූ සාගර පතුලේ සැඟව ගියේ යැයි සැක කෙරෙන MH370 යානය සෙවීමේ මෙහෙයුම්වල වඩාත් බරෑරුම්ම සීමාවේ මේ වනවිට පවතින බව විදෙස් පුවත් සේවා පවසයි.
යානය කඩා වැටුණේ යැයි සැක කෙරෙන සාගර පතුල නිරීක්ෂණය කිරීමේදී බොහෝ ස්ථාන සමතල පෘෂ්ඨයන් නොවන බවත්, විෂම ස්ථාන රැසක් සාගර පතුලේ පැවතීම හේතුවෙන් තත්ත්වය වඩාත් බැරෑරුම් වී ඇති බවද විශේෂඥයෝ පෙන්වා දෙති.
ඒ අනුව, වර්ග කිලෝමීටර් 60,000ක පෙදෙසක සාගර පතුල සිතියම් ගත කිරීම සඳහා ෆුග්රෝ ඉක්වේටර් සහ සූ කෙස්හෙන් යන නෞකා දෙක මෙහෙයුම් සිදු කරයි.
ඒ අනුව, මෙම කලාපය තුළ සාගර පතුලේ මීටර්යෙන් මීටරය සිතියම් ගත කිරීමක් සිදුවන බවත්, මේ කාර්යය සම්පූර්ණයෙන් අවසන් වීම සඳහා සැප්තැම්බර් මාසය පමණ වනු ඇති බවද පැවසෙයි.
නමුත්, ඔස්ට්‍රේලියානු බලධාරීන් පෙන්වා දෙන්නේ එම මුහුදු ප්‍රදේශයේ තිබෙන රළු බව හේතුවෙන් මේ කාර්යය වෙනුවෙන් තවත් වැඩි කාලයක් ගතවනු ඇති බවයි.
නෙදර්ලන්තයට අයත් ෆුග්රෝ ඉක්වේටර් නෞකාවත්, චීනයට අයත් සූ කෙස්හෙන් නෞකාවත් මෙම සාගර පතුල සිතියම් ගත කිරීමේ කාර්යයේ නිරතව සිටියි.
කෙසේ වෙතත්, මෙම කලාපයේ යානය සෙවීම සඳහා සිදුකරන මුහුදු පතුල සිතියම් ගත කිරීමේ කාර්යය තුළින් ලොව එදාමෙදාතුර ඉතා සුළු අවබෝධයක් පැවති සාගර කලාපයක තොරතුරු රැසක්ද විද්‍යාඥයන් හමුවට පැමිණෙන බව කියැවෙයි.
මෙම සාගර කලාපයේ ඇතැම් ප්‍රදේශ වඩාත් ගැඹුරු බැවින් තොරතුරු රැස් කිරීමේ කුඩා සබ්මැරීන පවා විනාශ වීමේ හෝ පාලනයෙන් ගිලිහීමේ අවදානම්ද පවතින බව පැවසෙයි.
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං බලා ගමන් කරමින් සිටි MH370 යානය පසුගිය මාර්තු මාසයේ 08 වැනිදා අතුරුදන් වූයේ එහි ගමන් ගත් පුද්ගලයන් 239 දෙනාද සමගිනි.
ලෝක ඉතිහාසයේ එදාමෙදා තුර සිදුකරමින් පවතින දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළත් යානය පිළිබඳ තවම කිසිදු හෝඩුවාවක් හෝ කිසිවෙකුට හමු නොවීම තුළින් මේ සිදුවීම දැඩි අභිරහසක්ව තවදුරටත් පවතී.